Google+

කට්ටි නොපැන 20 සම්මත කරගැනීමට ශ්‍රීලනිපය එජාපය පියවර ගත යුතුයි

හුදු වචනවලට පමණක් සීමා නොවී එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට කටයුතු කළ යුතු යැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා ඊයේ (03) දා ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාද සහභාගි විය.

Patali-Champika-Ranawaka-Secretary-of-Jathika-Hela-Urumayaඑහිදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ පොරොන්දුවක් පමණක් නොව රටේ ජාතික ප්‍රමුඛතාවයක් බවයි. නව මැතිවරණ ක්‍රමය පිළිබඳව ප්‍රමාණවත් සාකච්ඡාවක් ප්‍රජාතාන්ත්‍රිකව සිදුව ඇති බවත් එසේ නැතැයි කියමින් තවත් කල් ඉල්ලා සිටින්නේ එය කඩාකප්පල් කිරීමට බව ප්‍රකාශ කර සිටි අමාත්‍යවරයා අවශ්‍යවන්නේ මැතිවරණ ක්‍රමය මාරුකිරීම මිස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොවන බවත් 20ව සංශෝධනය ප්‍රමාද කිරීමෙන් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ප්‍රමාදවන බව ප්‍රකාශ කළ ඇමතිවරයා 20සම්මත කරන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමට ජනාධිපතිතුමා දැඩි අධිෂ්ඨානයක සිටින බවද කියා සිටියේය.

පාර්ලිමේන්තුව අස්ථාවර නොකර, කට්ටි පනින්නේ නැතිව, මෙම සංශෝධනය කෙටි කාලයකින් සම්මත කරගත යුතුව ඇති බවත් එසේ නොකිරීම ජනතා අභිලාෂයන්ට එරෙහිවීමක් බවත් හෙතෙම කියා සිටියේය.

නව මැතිවරණ ක්‍රමයෙන් කිසිදු පාර්ශවයකට අසාධාරණයක් සිදු නොවන බවත් මන්ත්‍රීධූර සංඛ්‍යාව වැඩිවන්නේ සුළු පක්ෂ වලට සාධාරණය ඉටුකිරීම සඳහා වන බවත් මෙමගින් මනාප ක්‍රමයට තිත තබා ඡන්ද කොට්ඨාශයට වගකියන මන්ත්‍රීවරයෙක් ලැබෙන බවත් එය පවතින දේශපාලන ක්‍රමය ශිලාචාර කරගැනිමට පිටුබලයක් වන බව ද එය ප්‍රමාද කරන්නන් ජනතා අභිලාෂයට පිටුපාන්නන් බවද වැඩිදුරටත් කියා සිටියහ.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සියලුදෙනාට පිළිගත හැකි පොදු නිර්නායක මත සිදුවිය යුතු බවත් සුළු ජනවර්ග වලට විශේෂ සැළකිලි නොදැක්විය යුතු බවත් අවධාරණය කළ ඇමතිවරයා මෙම ස්වර්ණමය අවස්ථාවට කවරෙක් හෝ එරෙහි වන්නේ නම් ඔවුන් ජනතාවගේ සතුරන් යැයිද කියා සිටියේය. 19 වෙනි සංශෝධන කෙටුම්පත ගෙනවිත් පැය කිහිපයක් තුළ ගැසට් කිරීමට කටයුතු කළ පිරිස් 20 වන සංශෝධනයට ප්‍රමාණවත් කාලයක් ලබාදී නැතැයි ප්‍රකාශ කිරීම විහිළුවක් යැයිද විශ්වාසභංග හා පාර්ලිමේන්තුව විසුරුවාහරින්න යෝජනා කරන්නන් 20 කඩාකප්පල් කිරීමට ගන්නා උත්සාහයක් මිස වෙන කිසිවක් නොවේයැයි ද කියා සිටි ඇමතිවරයා ව්‍යවස්ථාදායක සභාව පත් කිරීම කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් පාර්ලිමේන්තුව තුළ දියත්ව ඇතැයිද එය හරහා කොමිෂන් සභා ස්ථාපිත කිරීම වළක්වාලීම ඔවුන්ගේ අරමුණයැයිද අගමැතිවරයා ව්‍යවස්ථාදායක සභාව

නියෝජිතයෙක් නම් ඇමතිවරු එහි නියෝජිතයන් කවර ගැටලුවක්දැයි විමසා සිටියහ. මෙවැනි පුහු තර්ක හරහා ව්‍යවස්ථාදායක සභාව පත්කිරීම ප්‍රමාද කිරීමේ යටි අරමුණ මෙහි යට සිටින කණ්ඩායම් වල වංචා දුෂණ අපරාධ වසාගැනීම බවද කියා සිටියහ.

පරාජිත මහින්ද රාජපපක්ෂ මහතා පිටුපස එන්නේ දුෂිතයින් රැකගැනීමේ පෙරමුණක්

 මෙහිදී නිශාන්ත වර්ණසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ වත්මන් ආණ්ඩුවට දින 130ක් සම්පූර්ණ වී ඇත. දුෂණ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි. ඇවන්ගාඩ් හා රාඩා ආයතනයේ සිදුවී ඇති දුෂණ අක්‍රමිකතා හා මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු වල ප්‍රගතිය එහි ඉදිරි කටයුතු පිලිබඳව විමසා සිටි වර්ණසිංහ මහතා ඒවායේ ප්‍රගතිය පිලිබඳව දැනගැනීමට ඇති අයිතිය තහවුරු කළ යුතු බවත් ඇවන්ගාඩ් ආයතනය නිත්‍යානුකූල නම් එය රටට ප්‍රකාශ කරන ලෙසත් රාඩා ආයතනය හරහා රාජ්‍ය අරමුදල් කොටි ත්‍රස්තවාදීන්ට ලබාදුන් රාජද්‍රෝහින්ට දේශද්‍රෝහීන්ට එරෙහිව විමර්ශන කටයුතු කවර තලයක පවතින්නේද යන්න රටට හෙළි කරන ලෙස ඉල්ලා සිටි වර්ණසිංහ මහතා සමාජයේ දුෂණ විරෝධී හඩ යටපත් කිරීමට ඉඩ නොදෙන බවත් ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටින බවත් කියා සිටියේය. නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක විය යුතු බවත් එසේ සිදු වන බව පෙනී යායුතු බවත් ප්‍රකාශ කර සිටි වර්ණසිංහ මහතා ශිරන්තනි රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමේ නරක පූර්වාදර්ශයෙන් එය එසේ නොවන බවත් සමාජයට හැගී ගිය බව ශෂි වීරවංශ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන්ට නැති විශේෂ සැළකිල්ලක් ශිරන්තනී රාජපක්ෂ මහත්මියට ලබාදී ඇති බවත් එතුමියගේ ප්‍රකාශය සටහන් කර ගත් ස්ථානය දැනගැනීමට අපට අයිතියක් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එය රටට හෙළිකළ යුතු බවත් එය තොරතුරු දැන ගැනීමේ කොටසක් බවත් කියා සිටියේය.

සිරිලිය සවිය බැංකු ගිණුමේ හැඳුනුම්පත් අංකය වැරදියට සටහන්වීම හාස්‍ය දනවන්නක් බවත් රාජ්‍ය මුදල් සිරිලිය සවියට නොලැබුණේ නම් එයට මුදල් ලැබුණේ කෙසේදැයි රටට හෙළි කල යුතුය. විදේශීය රටවලින් හා රාජ්‍ය නොවන සංවිධාන වලින් මුදල් ලැබුණේද යන්න සොයා බැලිය යුතු බවත් කියා සිටි වර්ණසිංහ මහතා මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ට ගල්ගසා මරණ බවට තර්ජනය කළ දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී.වී.උපුල් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් දුෂණ විමර්ශන ආයතනයක නිලධාරින් බියවැද්දීම අරමුණු කරගත් තර්ජිත ප්‍රකාශනය දුෂිතයින් රැකීමේ ත්‍රස්තවාදයක් බවද එයට එරෙහිව දුෂණ විරෝධී බලවේග යළි සටනට එළඹිය යුතු බවද කියා සිටි වර්ණසිංහ මහතා පරාජිත මහින්ද රාජපපක්ෂ මහතා පිටුපස එන්නේ දුෂිතයින් රැකගැනීමේ පෙරමුණක් බවද වැඩි දුරටත් කියා සිටියහ.

2015 ජුනි මස 04 වැනිදා බ්‍රහස්පතින්දා – දිවයින පුවත්පත හා මාධ්‍ය නිවේදනය ඇසුරිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

73 − = 65