Google+

විස්සට පස්ස හරවන පක්ෂවලට විශ්වාසභංග ගෙන ඒමට අපි පක්ෂයි.

nishantha-sri-warnasinghe-portrait

නව මැතිවරණ ක්‍රමයක් ඇති කරන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පස්ස හරවන අයට හා ජනතා විශ්වාසය කඩ කළ දේශපාලන පක්ෂවලට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ඒමට ජාතික හෙළ උරුමය පක්ෂ බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය.

විසිවැනි සංශෝධනය සම්මත කිරීමට උත්සහ කරන මේ අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය විශ්වාසභංග ගෙනඑමින් ආණ්ඩුව විසුරුවා හැරීමට කරන උත්සාහය ද මෙම සංශෝධනය සම්මත කිරීමේ උත්සාහය කඩාකප්පල් කිරීමක් බව ද වර්ණසිංහ මහතා මෙහිදී කියා සිටියේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය,
නව මැතිවරණ ක්‍රමයක් ඇතිකරන ව්‍යවස්ථා සංශෝධනය ගැන එකඟතාව ඉදිරියට යන බවක් පේන්න නැහැ. එය කණගාටුවට කරුණක්. පසුගිය 27 වැනිදා කැබිනට් මණ්ඩලය රැස්වුණාට පස්සේ මේ ගැන සාකච්ඡා කරලා එයට අනුමැතිය ලැබිලා මේ සංශෝධනය ඉක්මණින් ගැසට් පත්‍රයක් හැටියට නිකුත් කරයි කියලා අපි හිතුවා. ඒත් කැබිනට් මණ්ඩලයේ දී විසිවැනි සංශෝධනය ගැන අනුමැතියක් ලැබුණේ නැහැ.

පසුගියා කාලයේ නව මැතිවරණ ක්‍රමය ගැන ප්‍රමාණවත් කතාබහක් සිදුවුණා. මැතිවරණ දෙපාර්තමේන්තුව හා මේ ගැන උනන්දුවක් දැක්වූ සිවිල් සංවිධාන වගේම දේශපාලන පක්ෂ එක්ව මේ ගැන සාකච්ඡා කළා, දැනුවත් කිරීම් කළා. එම සාකච්ඡාවලදී ඇතිකරගත් එකඟතාවයන් දැන් විවිධ අය කඩ කරමින් ඉන්නවා. නව මැතිවරණ ක්‍රමයට විරුද්ධ අය මේකට විරුද්ධයි කියමින් හිටියත් මොන හේතුවක් නිසා ඔවුන් මෙයට විරුද්ධයි ද කියලා කියන්නේ නැහැ. මේ අය කියන්නේ සුළු පක්ෂ විරුද්ධ නිසා ඔවුනුත් විරුද්ධයි කියලායි.

ජාතික හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ලංකා කම්කරු කොන්ග්‍රසය වගේ සුළු පක්ෂ ගණනාවක් විසිවැනි සංශෝධනයට පක්ෂ වුණත් තවත් සුළු ජාතික පක්ෂයක් වුණු මුස්ලිම් කොන්ග්‍රසය මෙයට විරුද්ධ වෙනවා. ඔවුන් මෙයට විරුද්ධ වීමට හේතුව පැහැදිලි කරලා නැහැ. මුස්ලිම් කොන්ග්‍රසය නව මැතිවරණ ක්‍රමයක් ඇතිකිරීමේ වැඩේදී ඒ පිළිබඳ පර්යේෂණ කිරීම් කළ මැතිවරණ කොමසාරිස්වරයා හා මහාචාර්ය සුදන්ත ලියනගේ, ආචාර්ය සුජාතා ගමගේ, මහාචාර්ය රොහාන් සමරජීව, කීර්ති තෙන්නකෝන් යන අය සමග මුස්ලිම් කොන්ග්‍රසය වැඩ කළා. මේ පර්යේෂකයෝ අනෙක් සුළු පක්ෂ සමඟත් සාකච්ඡා කරලා ඔවුන්ගේ දුක්ගැනවිලි අහලා කිසිම අසාධාරණයක් නොවෙන විදියට ඔවුන්ට විසඳුම් දුන්නා. එහෙම එකඟතාවයක් තියෙද්දීත් යම් පිරිසක් නව මැතිවරණ ක්‍රමයෙන් සුළු පක්ෂවලට අසාධාරණයක් වෙනවා කියලා මතයක් සමාජගත කරන්න හදනවා. විසිවැනි සංශෝධනය සම්බන්ධව මුස්ලිම් කොංග්‍රසයේ කටයුතු ඉතාම පිළිකුල් සහගතයි. මුස්ලිම් කොංග්‍රසය මැතිවරණ ක්‍රමය ගැන අපිත් සමග එකඟතාවන් වෙලා වෙන තැන්වලට ගිහින් මේ ගැන එකඟතාවක් නැහැ කියනවා. මේ දේවල්වලදී මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයා හැටියට වැඩකළේ නිසාම් කාරිඅප්පර් මහතායි. එයා හැම සාකච්ඡාවකටම ඇවිත් එකඟතාවකට ඇවිත් කැබිනට් රැස්වීම්වලට ගිහින් නව මැතිවරණ ක්‍රමයට විරුද්ධ වෙනවා. මෙය බරපතල ගැටළුවක්.

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුණු ලක්ෂ 62 ක ජනවරම එක පුද්ගලයෙක් හෝ පක්ෂයක් හින්දා පාවා දෙන්න බැහැ. නව මැතිවවරණ ක්‍රමය ගැන මුස්ලිම් කොංග්‍රසය විවිධ ප්‍රශ්ණ තියෙනවා නම් අනෙක් සුළු පක්ෂවලටත් මේ ගැටළු තිබිය යුතුයි. අපිට පේන විදියට මුස්ලිම් කොංග්‍රසය ඉටුකරන්නේ වෙන කාගේ හරි කොන්ත්‍රාත් එකකුයි.

මේ හරහා ඔවුන් නව මැතිවරණ ක්‍රමය ඇතිකිරීම කඩාකප්පල් කරනවා, එහෙම නැත්තං කාගේ හරි උවමනාවකට මෙය බිඳදමන්න හදනවා. නව මැතිවරණ ක්‍රමයෙන් සුළු පක්ෂවලට අසාධාරණයක් වෙනවා නම් එය මැතිවරණ ක්‍රමය සකස් කළ පර්යේෂකයන්ට ඉදරිපත්කරන්න කියලා අපි මුස්ලිම් කොංග්‍රසයට අභියෝග කරනවා. මුස්ලිම් කොංග්‍රසය මේ දේවල් ගැන කතා කරන්නේ නැතිව මැතිවරණ ක්‍රමය කඩාකප්පල් කිරීමට කටයුතු කිරීම අපි හෙළා දකිනවා.

ජනවාරි 8 වැනිදා ලැබුණු ජනවරමේ හරය බිඳදමන්න මුස්ලිම් කොංග්‍රසය කරන උත්සාහයට අපි ඉඩ දෙන්නේ නැහැ. රටේ ජනතාව ජනාධිපතිවරණයේදී අපිට බලයක් දුන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හා නව මැතිවරණ ක්‍රමයක් ඇතිකරන්නයි. දහනව වැනි දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට හැමෝටම තිබුණු හදිස්සිය විසිවැනි සංශෝධනය ගෙන ඒමට නැහැ. දහනව වැනි සංශෝධනය මාර්තු මාසයේ පාර්ලිමේන්තුවට ගෙනාවේත් කඩිමුඩියේයි. එය අධ්‍යනය කරන්න කාලයක්වත් අපිට ලැබුණේ නැහැ. අගමැති ප්‍රමුඛ රජය එය එදිනම ගැසට් කරන්න හැදුවත් අපේ චම්පික රණවක මහතා දහනව වැනි සංශෝධනය අධ්‍යනය කරන්න දින දෙකක කාලයක් ලබාදෙන්න කියලා කිව්වා. නැත්නම් එය අධ්‍යනය කිරීමටවත් කාලයක් ලැබෙන්නේ නැහැ. නව මැතිවරණ ක්‍රමයක් ඇතිකිරීම ගැන සාකච්ඡා කරලා, කැබිනට් අනු කමිටු පත් කරලා, එකඟතාවය ආදී සියල්ලත් වෙලා තියෙනවා. මේ ගැන සාක්ෂි හැටියට මෙයට මැදිහත්වීම් කළ තිලක් රණවිරාජා මහතා ලඟ සියළු ලිපි ලේඛන තියෙනවා.

රටේ ප්‍රමුඛතාව නව මැතිවරණ ක්‍රමයක් ඇතිකිරීම මිසක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෝ විශ්වාසභංග ගෙන ඒම නොවෙයි. දැන් කළ යුත්තේ ජනතාව දුන් ජනවරම අනුව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමයි. මේ ජනවරම ලබාගන්න මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ ආදී බොහෝ පාර්ශව එකතු වුණා. ජනවරම ලබාගැනීමට ඔවුන් මැදිහත් වුණා. ජනවරමේ එක් ඉල්ලීමක් වුණු නව මැතිවරණ ක්‍රමයක් ඇති කරන්නත් ඔවුන් මැදිහත්විය යුතුයි. ජනතා අවශ්‍යතාවයට ඔවුන් පයින් ගහනවා නම් එය දුෂ්ට යෝජනාවක්. නව මැතිවරණ ක්‍රමය පිළිබඳ මේ සංශෝධනය දැන් සම්මත කරගත්තේ නැති නම් ආයේ මේක සම්මත කරගන්න වෙන්නේ නැහැ. විසිවැනි සංශෝධනයට විරුද්ධ වෙන්නේ ජනතාවගේ සතුරන් හා ද්‍රෝහීනුයි. ඔවුන්ට ජනතාව කවදාවත් සමාවක් දෙන්නේ නැහැ. දැන් වෙන්නේ දේශපාලන පක්ෂ තමන්ගේ න්‍යාය පත්‍ර ඉදිරියට අරන් කටයුතු කිරීමයි. පාර්ලිමේන්තුව විසුරුවීම මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය විශ්වාසභංග ගෙන එමින් ආණ්ඩුව විසුරුවාහැරීමට කටයුතු කිරීමෙනුත් වෙන්නේ විසිවැනි සංශෝධනය සම්මත කරගැනීමට තියෙන අවස්තාව කඩාකප්පල් කිරීමකුයි.
දැන් කැබිනට් මණ්ඩලය රැස්වෙන්නේ සතියකට වරක්. සතියකට වරක් කැබිනට් එක රැස්වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. විසිවැනි සංශෝධනය සම්මත කිරීම ප්‍රමුඛතාවකට අරන් කැබිනට් එක රැස්වෙන්නේ නැත්තේ ඇයි? ජනතා බලාපොරොත්තු මේ අවස්ථාවේ ඉටුවුනේ නැත්නම් ජනතාව එයින් ඈත්වෙනවා. නව මැතිවරණ ක්‍රමය ඇතිකිරීම පිළිබඳ සුළු පක්ෂවල චෝදනා පදනම් විරහිත බවත් මහජන නියෝජිතයන් ජනතා වරමට අනුව කටයුතු කළයුතු බවත් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මෙහිදී පැවසීය.

2015 මැයි මස 30 වැනිදා සෙනසුරාදා – ලංකාදීප පුවත්පත ඇසුරිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

− 1 = 1