Google+

චෝදනා පිළිබඳ පරීක්ෂණ නිම වෙනතුරු මහ බැංකු අධිපති තාවකාලිකව තනතුරෙන් ඉවත් විය යුතුයි.

 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණාට එල්ලවී ඇති මූල්‍ය අක්‍රමිකතා ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්‍ෂණ සාධාරණව සිදුකිරීමට නම් මහ බැංකු අධිපතිවරයා එම තනතුරෙන් තාවකාලිකව ඉවත්විය යුතු යෑයි ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම්, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසා සිටියි.

මහ බැංකු භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියකදී සිදුවී ඇති ගනුදෙනුවක්‌ නිසා අක්‍රමිකතාවයන් සිදුවී ඇති බවට චෝදනා එල්ල වීම ජනවාරි 08 වැනිදා යහපාලනයක්‌ ඇතිකර ගැනීමට පත්කර ගත් රජයට විශාල අපකීර්තියක්‌ බවද හෙතෙම කීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස දැනුම් දී ඇතැයි ද කී මන්ත්‍රීවරයා ඔහුට අමතරව අගමැතිවරයා සහ කැබිනට්‌ මණ්‌ඩලයද මේ ගැන අවධානය යොමුකරන අයුරු බලා සිටින බවද කීය.

රටේ ජනතාව රටේ පැවැති දූෂණ අක්‍රමිකතා නැතිකර යහපාලනයක්‌ ඇතිකර ගැනීමට ජනවරමක්‌ ලබාදුන්නද වත්මන් රජය ඇවන්ගාඩ් සිද්ධියේ සභාපතිවරයාට විදෙස්‌ ගමන් බලපත්‍රය මුදාහැරීමට කටයුතු කළ බවට එල්ලවී තිබෙන චෝදනාවටත් වඩා බරපතල චෝදනාවක්‌ මහ බැංකු අධිපතිවරයාට එල්ලවීම රජයේ විශ්වාසය බිඳ වැටීමට හේතුවිය හැකි බවද හෙතෙම කීය.

කෙසේ වෙතත් මෙම මහ බැංකු අධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා ගැන විමර්ශන සිදුකිරීමේදී මහ බැංකු අධිපතිවරයා සිය කැමැත්තෙන් තාවකාලිකව ඉවත්වී පරීක්‍ෂණවලට සහාය දෙනවාද එසේ නොමැතිව ඔහුට රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අවධානයෙන් සිටින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× 4 = 12