Google+

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණය ලංකාව තුළ භුක්තිවිදීමේ සුජාත උරුමය ඇත්තේ ජාතික හෙළ උරුමය ඇතුළු ජාතිකවාදී කණ්ඩායමට මිස ඒකාබද්ධ විපක්ෂයට නොවේ…

අභිනව ඇමරිකානු ජනපති ලෙස ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් මහතා තේරී පත්වීමත් යහපාලන ආණ්ඩුවේ ටොප්ටෙන් හොරු හෙළිකරන ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සංදර්ශනය හා රණවිරුවන් උද්ඝෝෂණයට මුවාවූ අවස්ථාවාදීන් සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ මතය පැහැදිලි කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවක් අද (11) පෙරවරුවේදී ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි. ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, අධ්‍යාපන ලේකම් බෝසෙත් කළහෙපතිරණ යන අය එම අවස්ථාවට සහභාගීවූහ.

මෙහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත්  සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා විසින් අභිනව ජනාධිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණය ලංකාව තුළ භුක්තිවිදීමේ සුජාත උරුමය ඇත්තේ  ජාතික හෙළ උරුමය ඇතුළු ජාතිකවාදී කණ්ඩායමට මිස ජාතිකවාදයට මුවාවී ජාතික මංකොල්ලයක නිරතවූ ඒකාබද්ධ විපක්ෂයට නොවන බව ප්‍රකාශ කර සිටින ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මැතිතුමා –

අද මුහුණු පොතේ සහ අන්තර් ජාලය තුළ ඩොනල් ට්‍රම්ප්ට කුරහන් සාටක පළදවන්න පරාජිත ඒකාබද්ධ විපක්ෂයේ ගෝලබාලයන් ලොකු උත්සහයක් දරනබව පෙනී යනවා. හිටපු ජනාධිපතිතුමත් මාධ්‍ය හමුවේ ට්‍රම්ප් මහතාට සුභ පතනවා අපි දැක්කා. ඒත් මොවුන් කුරහන්සාටක පැළඳවිය යුත්තේ ඩොලන්ඩ් ට්‍රම්ප්ට නොව හිලරි ක්ලින්ටන් නෝනාට බව අප විසින් අවධාරණය කර සිටිනවා.  ඇමරිකානු ජනපතිවරණ සටනේදී මහා රාජ්‍ය බලයක් සහ මාධ්‍ය බලයක් ඇතිව පුළුල් ප්‍රචාරක මෙහෙයුමක් දියත් කලේ හිලරි ක්ලින්ටන් විසිනුයි. ඇයට හිටපු ජනපතිවරුන් දෙදෙනකු වන බිල් ක්ලින්ටන් සහ බැරැක් ඔබාමා යන දෙදෙනාගේම සහය හිමිවුනා. ඒ වගේම අල්ජසීරා, සී.එන්.එන්. වැනි ප්‍රබල ජාත්‍යන්තර මාධ්‍යයන්හි සහය හිමිවුනේත් හිලරි නෝනට මිස ට්‍රම්ප් මහතාට නොවේ.

ඒ නිසා ඊයේ දින ප්‍රකාශයට පත්වූ මැතිවරණ ප්‍රතිඵලය සමාන කර හැක්කේ 2015 ජනවාරි 08 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලැබුනු ජනවරමට පමණයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහා ධන බලයක් යොදා ගනිමින් රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය දේපල භාවිතා කරමින් මැතිවරණයට ඉදිරිපත් වුනත් එවැනි හැකියාවක් නැතිව සිවිල් සංවිධාන ඇතුළු මේ රටේ දූෂණයට එරෙහි ජනමත නායකයින්ගේ දායකත්වය පමණක් ලබාගනිමින් 2015 ජනපතිවරණය ජයග්‍රහණය කරන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හැකිවුනා.  ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තම ජයග්‍රහණයෙන් පසුව ස්තූතිය ඵලකරේ තමන්ට සහය වූ විශ්‍රාමික හමුදා නිළධාරීන්ට, ඇමරිකානු දේශප්‍රේමීන්ට, හිතවත් ව්‍යාපාරික ප්‍රජාවට හා පවුලේ ඤාති හිතමිත්‍රාදීන්ට පමණයි. ඉන් පැහැදිලි වන්නේ ඔහුට තමන්ගේ පක්ෂයේ සෘජු සහය නොලැබී ඇතිබවයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ තත්වයත් ඒ වගේමයි. එතුමා ජනපතිවුනෙත් ශ්‍රි.ල.නි.ප.යේ සහය ඇතිව නෙවෙයි.

ඒ වගේම මෙහිදී හිලරිගේ පරාජය අපට තවත් ආකාරයකට වැදගත් වනවා. අපට මතකයි 2009 වසරේ අපි රටක් විදියට කොටි පරදවන්න අවසන් සටන ක්‍රියාත්මක කරද්දී හිලරි නෝනා අපට බාධා කලා. ඇගේ මෙහෙයවීමෙන් නීෂා බිස්වාල්, සමන්තා පවර් වගේ අයත් අපට එරෙහිව නොයෙකුත් බලපෑම් කලා. ඒ නිසා හිලරිගේ පරාජය හුදු ඇගේ පරාජයක් පමණක් නොවේ නීෂා බිස්වාල්, සමන්තා පවර් ඇතුළු කණ්ඩායමේ පරාජයයි.

ජාතිකවාදය පිලබඳව විශාල කතාබහක් පසුගිය කාලයේ ඇතිවුනා. ශ්‍රී ලංකාවේ සිංහල ජාතිකවාදී කණ්ඩායම නියෝජනය කරන එකම දේශපාලන පක්ෂය වන්නේ ජාතික හෙළ උරුමය පමණයි. මේ රටේ මහා ජාතිය වන බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ ජාතික හැඟීම වන ශ්‍රී ලංකා රාජ්‍යයේ ජාතික ආරක්ෂාව, පැවැත්ම හා සුරක්ෂිතභාවය වෙනුවෙන් පෙනී සිටින්නේ අප පමණයි. අප පක්ෂය ආරම්භ කරනවිට ජාතිකවාදය යනු ඉතා ගර්හාවට ලක්වුනු චින්තනයක් ලෙස සලකපු ඇතමුන් අපට ජාතිවාදීන්, යුධකාමීන්, ආගමික උන්මත්තකියින් ලෙස හැඳින්වූ බව අපට මතකයි.

එදා අපිට සලකපු විදියටම මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත්වුනු ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාවත් ජාතිවාදියෙක්, ආගමික උන්මත්තකයෙක්, යුධවාදියෙක් ලෙස හඳුන්වලා ඔහුව තලාපෙලා පාගාදමන්න ලෝක ජනමාධ්‍ය ඇතුළු බොහෝ පිරිස් උත්සහ කළා. නමුත් ඒ සියලු  බලවේග පරාජය කරමින්  ඇමරිකා එක්සත් ජනපදයේ 45 වන ජනපතිවයා ලෙස තේරී පත්වුනා. දැන් මේ සිදුවීමෙන් ඉතා වැදගත් පණිවිඩයක් ලබාදෙනවා. ඒ තමයි මින් ඉදිරියට ලෝකය පෙරට ගෙනයන දේශපාලන දර්ශනය වන්නේ ජාතිකවාදයයි කියන පණිවිඩයයි. ඒ වගේම ඒතුළින් ඕනෑම රටක ඒ රටේ ජීවත්වන මහා සමාජයේ සිතුම් පැතුම් හා ඔවුන්ගේ ඕනෑ එපාකම් සහ අපේක්ෂාවන් නියෝජනය නොකරන දේශපාලන නායකයින්ට පැවැත්මක් නැති බව ඔප්පුවෙලා තියෙනවා. ඒ නිසා අද අපේකමට ගරහන සිංහල ජාතිකවාදයට ගරහන හා මේ රටේ බහුතර සමාජය නින්දාවට ලක්කරන දේශපාලන නායකයින්ටත් ඇමරිකානු ජනපතිවරණයෙන් උගත හැකි පාඩම් බොහොමයක් පවතින බව අප ප්‍රකාශ කළයුතුයි.

ඒ එක්කම අද අපි මෙහිදී තවත් කරුණු දෙකක් ගැන අපේ අදහස ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. එහි පළමුවැන්න තමයි ඒකාබද්ධ විපක්ෂ විසින් ඊයේ දිනයේ පෙන්වු මාධ්‍ය සංදර්ශනය සම්බන්ධයෙන් අපේ අදහස ඉදිරිපත් කිරීමයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් යහපාලන ආණ්ඩුවේ දූෂණ අක්‍රමිකතා ගැන හොයන්න කමිටුවක් හදාගෙන ඊයේ දිනයේදී යහපාලන ආණ්ඩුවේ දූෂිතයින්ගේ ටොප් ටෙන් ලැයිස්තුවක් එළිදක්වනවා කිව්වා. නමුත් එවැනි දෙයක් සිදුවනවා අප දුටුවේ නැහැ. අනෙක මේ කමිටුවේ ඉන්න සමහර උදවියට දූෂණ චෝදනා බොහොමයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතරින් සැලුන් දොරෙන් එළියට එනවා වගේ එෆ්.සී.අයි.ඩී.යට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අනෙකුත් දූෂණ මර්ධන ආයතන වලට යන නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අළුත්ගමගේ වගේ දූෂිතයෝ පෙරට ඇවිල්ලා ඉන්නවා. අපි කියන්නේ නෑ මේ ආණ්ඩුවේ දූෂණ වංචා ගැන කථාකරන්න එපා කියලා. නමුත් මේ ආකාරයට දූෂණ චෝදනා ලැබූ අයට තමන්ට එරෙහි පරීක්ෂණ අවසන් කෙරෙන තුරු මේ ආණ්ඩුවේ දූෂණ  අක්‍රමිකතා ගැන කථාකරන්න සදාචාරාත්මක හෝ ශීලාචාර අයිතියක් නැතැයි කියන එක අප සිහිපත් කරන්න කැමතියි.

දෙවන කාරණය තමයි ආබාධිත රණවිරුන් පෙරට දමාගෙන ඔවුන් මුලාවට පත්කරලා මේ යහපාලන රජයට එරෙහිව රණවිරුවන්ව උසිගන්වන එකයි. ඒ තුළින් දේශපාලන වාසි ගන්න උත්සහ කරන එක. අවුරුදු අටක් බලයේ ඉදලා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ අය ලබානොදුන් විශ්‍රාම වැටුප ලබාදීමට අතිගරු ජනපතිතුමා කටයුතු කර තිබියදීත් රණවිරුවන් මුලාවට පත්කරලා අසත්‍ය වපුරලා ඔවුන් තුල රජය කෙරෙහි සැකසංකා ඇතිකරලා මේ රජය රණවිරුවන්ට නොසලකන රජයක් බව පෙන්වීමට උත්සහ දරණ අවස්ථාවාදී පිරිසගේ එම අවස්ථාවාදී ක්‍රියාව අප දැඩිව හෙළ දකින බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

මෙම මාධ්‍ය හමුව අවසානයේදී එම්.ජී. ගුණරත්න නැමති හිටපු හමුදා සෙබලාට ගනේමුල්ල පොලිස් ස්ථානයේදී සිදුවූ අසාධාරණයක් පිළිබඳව මාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමටද නිශාන්ත වර්ණසිංහ මහතා විසින් ඉඩකඩ ලබාදෙන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

− 1 = 1