Google+

ඉන්දියාව “දෙමළ ඇසකින්” ලංකාව දෙස බැලීම වැරදියි.

Patali-Champika-Ranawaka-Secretary-of-Jathika-Hela-Urumayaඉන්දියාව ශ්‍රී ලංකාව දෙස බැලිය යුත්තේ සම්පූර්ණ රටක් දෙස බැලිය යුතු ආකාරයෙන් යැයි ද දෙමළ බහුතරයක් වෙසෙන උතුර කෙරෙහි පමණක් අවධානය යොමු නොකළ යුතු යැයි ද ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ‍ලේකම් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා “ද හින්දු” පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන ප්‍රායෝගික ආකල්පය දෙරට අතර වෙළඳ‍, තාක්ෂණික හා දේශපාලන සබඳතා වර්ධනය වීමට ඉවහල් වනු ඇතැයි කී රණවක මහතා එයින් දෙරටටම වාසිසහගත තත්ත්වයක් ඇතිවීමට මගපෑදෙනු ඇතැයිද පැවසීය.

1987 ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම හේතුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කෙරුණු 13 වැනි සංශෝධනය යටතේ බලය බෙදීම සිදු කළ යුතු බවට ඉන්දියාවෙන් සිදුකෙරෙන බලපෑම පිළිබඳව අදහස් දැක්වූ ඇමතිවරයා ඉන්දියාව උතුරේ ජනතාවගේ ආරක්ෂකයා ලෙස කටයුතු කිරීම අතීතයට අයිති දෙයක් හැටියට සැලකිය යුතුයැයි ද පැවැසීය.

ශ්‍රී ලංකාවේ දමෙළ ජනතාව තමන්ගේ ප්‍රශ්ණ විසඳා ගැනීමට ඉන්දියාව ඈඳා නොගෙන පවතින ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බවද ඇමතිවරයා කීය.

“හින්දු” පුවත්පට වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමති චම්පික රණවක මහතා මෙසේ ද පවසා ඇත.

ඉන්දියාව, ශ්‍රී ලංකාව දෙස මබලන ආකාරයේ වෙනසක් විය යුතුයි. අප ඉන්දියාවේ කොටසක් හෝ ඉන්දියාවේ සංස්කෘතියක් නොවෙයි. අපට වෙන් වූ, අපටම ආවේනික වූ සුවිශේෂී සංස්කෘතියක් තිබෙනවා. ඉන්දියාව එල්.ටී.ටී.ඊ සංවිධානයට කළ උදවු උපකාර නිසා ඉන්දියාව කෙරෙහි ශ්‍රී ලංකාවේ සිංහල ජනතාවගේ විශාල කලකිරීමක් තියෙනවා. නමුත් සංගීතය, සිනමාව සහ ක්‍රිකට් මගින් ඉන්දියාවට එය වෙනස් කළ හැකියි. බුදු දහම සහ හින්දු දහමට අමතරව දෙරටේම ජනතාව අගය කරන තවත් බොහෝ දේ තිබෙනවා.

විදෙස් රටවලින් ආධාර ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ සිදු කළ මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ කීය.

“ඒ සියලු ව්‍යාපෘති කරගෙන යෑමට පෙර අපි තාක්ෂණික ක්‍රියාමාර්ග ගන්නවා. විශේෂයෙන්ම එම ව්‍යාපෘති පිළිබඳව අප විගණන කටයුතු සිදු කරනවා. ඉන්දියාවේ ආධාර ඇතිව අප උතුරු දුම්රිය මාර්ගය යළි ඉදි කළා. දුම්රිය මාර්ගය ඉදිකිරීමට සාමාන්‍ය වියදමට වඩා සිවු ගුණයකින් වැඩියෙන් තමයි මුදල් වෙන් කරලා තිබුණේ. චීනය ද එවැනි ව්‍යාපෘති රැසක ආයෝජනය කරලා තියෙනවා. එම ව්‍යාපෘති ගැන ද සියුම් ලෙස පරික්ෂා කළ යුතුයි. එම ව්‍යාපෘතිවලදීත් දූෂණ චෝදනා රැසක් සිදුවූ බවට චෝදනා එල්ල වී තිබෙනවා.”

හිටපු ජනපති මහින්ද රාජපක්ස මහතාගේ සමයේ දී ශ්‍රී ලංකාව චීනය සමග වැඩි සබඳතා පැවැත්වීම නිසා ශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දියාවේ ඇතිවුණු අවිශ්වාසය දැන් වළලා දැමිය යුතුයි. දැන් ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා සමාන පාර්ශවකරුවන් ලෙස වැඩ කටයුතු කරන්න. චීනය ඉදිරියේ දී ලෝකයේ ආර්ථික බලවතා වන බව අප පිළිගත යුතුයි. අවාසනාවකට මෙන් ඇමරිකා එක්සත් ජනපදයත් චීනයත් අතර පවතින සීතල යුද්ධයකට හිරවී සිටිනවා.

ඉන්දියාවේ ජාතික තාප බල සංස්ථාව නැගෙනහිර පළාතේ ඉදිවෙමින් තිබෙන ගල් අඟරු බලාගාරයේ සම හවුල්කරුවෙකු වන අතර එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙසේ පැවැසීය.

ගල් අඟුරු බලාගාරයෙන් වන පරිසර හානිය තමා ගැටලුව. පරිසර බලපෑම පිළිබඳ වාර්තාව සකසලා තියේනනේ. එය දැන් මහජනතාවගේ අදහස් විමසීමට ඉදිරිපත් කර තිබෙනවා. අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව විදුලි බලය හා බලශක්තිය හුවමාරු කරගැනීම පිළිබඳ අවධානය යොමුකර තිබෙන බවත් එසේම මුහුද යටින් විදුලිය සම්ප්‍රේශණය කිරීම කෙරෙහි ද දෙරටම අවධානය යොමු කර ඇති බවත් එය කළ හැකි බව දෙරටම එකඟතාවයකට පැමිණ ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

The Hindu වෙබ් අඩවිය සහ 2015 මාර්තු මස 12 වැනිදා බ්‍රහස්පතින්දා ලංකාදීප පුවත්පත ඇසුරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

+ 18 = 22