Google+

සිංහල සමාජය සංහිඳියාවට කැමති වුවත් අන්තවාදී සුළු ජන කණ්ඩායම් වෙනස් වී නැතිබව යාපනයේ විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට පහරදීමෙන් තහවුරු වෙනවා.

යාපනය විශ්ව විද්‍යාලයට 2016 වර්ෂය සඳහා නවක සිසුන් පිළිගැනීමේ උත්සවයේදී උඩරට නර්තනයක් ඉදිරිපත් කළ සිංහල සිසුන්හට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ මාධ්‍ය හමුවක් අද (18) පෙරවරුවේ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි. එම අවස්ථාවට ජාතික හෙළ උරුමය වෙනුවෙන් එහි ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරාළ, මධ්‍යම කාරක සභික බෝසෙත් කළහෙපතිරණ යන අය සහභාගීවූහ.

මෙහිදී අදහස් දැක්වූ පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා විසින් ජාතික හෙළ උරුමය විසින් මෙම පහරදීම පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් මේ පහරදීම සිදුකළ අයට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කර දඬුවම් කළයුතු යැයි ප්‍රකාශ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා –

අපිට ලැබුනු තොරතුරු අනුව මේ පහරදීම සිදුවෙලා තියෙන්නේ එම විශ්ව විද්‍යාලය සඳහා නව වසරට සිසුන් ඇතුළත් කරගැනීමේදී පවත්වන ලද පිළිගැනිමේ උත්සවයට උඩරට නර්තන අංගයක් ඉදිරිපත් කිරීම මුල්කරගෙනයි. එහිදී එම අවස්ථාවේ අන්තවාදී ලෙස හැසිරුන ද්‍රවිඩ සිසුන් විසින් එම නර්තනය ඉදිරිපත් කළ සහ සංවිධානය කළ සිංහල සිසුන්ට පන්න පන්නා පහර දී තිබෙනවා. ත්‍රස්තවාදය අවසන්කර වසර හතක් ගෙවුනත් ජාතික සංස්කෘතියට අනුගතවීමට හෝ ජාතික සංස්කෘතියේ ප්‍රධාන කොටසක් වන සිංහල සංස්කෘතිකාංග වලට විරුද්ධ හා ඒහා ඉවසිය නොහැකි ගෝත්‍රිකවාදී පිරිසක් යාපනය විශ්ව විද්‍යාලය තුළ තවමත් සිටිනබව මෙයින් තහවුරු වෙනවා.

විශ්ව විද්‍යාල සිසුන් අතර ඇති විවිධ මතවාදී ගැටලු නිසා ඔවුන් අතර ගැටුම් ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඒත් මෙහිදි සිදුව ඇත්තේ සාමන්‍ය සිදුවීමක් නොවෙයි. අපිට මතකයි ප්‍රභාකරනුත් උතුරේ සෙසු ජනතාව ඉන්නවාට විරුද්ධ වුනා. ඔහු එම පළාත් වල ජීවත්වු සෙසු ජනයාගේ ජීවත්වීමේ අයිතිය, වෙළඳාම් කිරීමේ අයිතිය, ගොවිතැන්බත් කිරිමේ අයිතිය පිළීගත්තේ නෑ. ඒ නිසා ප්‍රභාකරන් විසින් තම අවිආයුධ බලය පාවිච්චි කරලා උතුරු පළාතේ සිංහල සහ මුස්ලිම් ජනයා ඔවුන්ගේ පාරම්පරික බිම්වලින් සහමුලින්ම පළවා හැරියා. අද යාපනය විශ්ව විද්‍යාලයේ සිදුව ඇත්තේත් එවැනිම දෙයක්. මෙම පහරදීමෙන් පැහැදිලිවන්නේ යාපනය විශ්ව විද්‍යාලය තුළින් ප්‍රභාකරන්ගේ අංකුර ඇතිවී ඇති බවයි. ඒ තුළ මේ රටේ සිංහල ජනතාවට ඇති අයිතිය පිළිගැනීමට අකමැති පිරිසක් සිටිනා බවයි.

ජාතිවාදය අවුස්සනවාට අපිත් විරුද්ධයි. ඒත් සංහිදියාව පෙන්වලා මෙම සිදුවීම යටපත් කරන්න කිසිවිටෙකත් ඉඩදෙන්න බැහැ. ජාතික සංහිදියාව වෙනුවෙන් අප සිදුකළ කැපකිරීම් බොහොමයි. අපේ රාජ්‍ය නායකයෝ සෑම කෙනෙක්ම පාහේ ඒ වෙනුවෙන් කටයුතු කර තිබෙනවා.

අපට මතකයි වරක් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය සිංහල ජනතාවගෙන් නොදැන හෝ යම් වරදක් වුනානම් දෙමළ ජනාතවගෙන් සමාව ඉල්ලන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියා. නමුත් දෙමළ දේශපාලකයන් එවැනි කිසිඳු කැපකිරීමක් මේ වනතෙක් සිදුකර නැහැ.  යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර දෙපළාත විශාල වශයෙන් සංවර්ධන ව්‍යාපෘති සිදුවුනා. ඒ සියල්ල සිද්ධ වුනේ සෙසු පළාත් වල සාතිශයක් සිංහල වැසියන්ගේ බදු මුදල් වලින්. යුද්දේ පැවතිනු කාලවකවානුවේත් ඉන් පසුව බොහෝ කාලයකුත් උතුරු නැගෙනහිර පළාත්වල  බදු මුදල් එකතුකිරීමක් සිදුවුනේ නැහැ.

ඇසට ඇසක් දතට දතක් සහ ජීවිතයකට ජීවිතයක් වශයෙන් පළිගැනීම අපේ ක්‍රමය නොවෙයි. ඒත් ඔවුන්ගේ ක්‍රමය වී ඇත්තේ එය බව මෙවැනි සිදුවීම් වලින් නැවත නැවතත් ඔප්පු වෙනවා. උතුරේ බුදු පිළිමයක් හැදීම සිංහල  බෞද්ධ ආක්‍රමණයක් ලෙස දකින ඔවුන් යාපනය සරසරවියට සිංහල සිසුන්ව ආක්‍රමණිකයන් ලෙස දකිනවා. ඒත් දැන් කොළඹ  කොච්චර වේල් පෙහැරවල් යනවාද? ඒ අවස්ථාවල ඇතිවන මාර්ග තදබදය නිසා අපි කොච්චර කරදරවලට මුහුණපානවද? ඒ කිසිම තැනකදී අපි කඩාකප්පල්කාරී ලෙස හැසිරිලා තියෙනවද? ඒකයි සංහිදියාව කියන්නේ. එහි නියම වටිනා කම දන්නැත්තේ අපි නෙවෙයි. ඒ නිසා අද අපිට සංහිදියාව ගැන පාඩම් උගන්වන්න එන අපේ දරුවන්ගේ පෙළපොත් වෙනස් කරන්න යෝජනා කරන බුද්ධිමතුන්, කලාකරුවන් කියාගන්න අයට අපි යෝජනා කරනවා සංහිදියාවෙන් ජීවත් වෙන අපිට උගන්වන එක පැත්තකින් තියලා සංහිදියාවේ වටිනාකම නොදන්න යාපන විශ්ව විද්‍යාලයේ අන්තවාදී කණ්ඩායම් වලට ඒ ගැන කියලා දෙන්න කියලා.

විශ්ව විද්‍යාලය වසා දැමීම හෝ මේ ශිෂ්‍යයන් වෙනත් විශ්ව විද්‍යාලවලට අනියුක්ත කිරීම මේ ප්‍රශ්නයට පිළීතුරක් නොවෙයි. ඒ නිසා අපි යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමා ඇතුළුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙනුත් සෙසු බළධාරීන්ගෙනුත් ඉල්ලා සිටිනවා මේ ත්‍රස්තවාදී මූලබීජ සහ අංකුර හඳුනාගෙන ඒවා පරාජය කිරීමටත් සිංහල ශිෂ්‍යන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමටත් අවශ්‍ය පියවර හැකි ඉක්මණින් අනුගමනය කරන්න කියලා.

නියෝජ්‍ය ලේකම් කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් –

මෙම සිදුවීම ගැන සාකච්ඡා කිරීමෙන් සහජිවනයට  බාධාවක් වෙනවා කියලා සමහරු කියන්න උත්සහ කරනවා. ඒ නිසා ප්‍රථමයෙන්ම ප්‍රකාශ කළ යුතුයි යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් සමාජය විසින් අනිවාර්යෙන්ම සාකච්ඡා කළයුතුයි. එය එළා දැකිය යුතුයි. ත්‍රස්තවාදය ආරම්භවූ මුල් වකවානුවේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිදුවූ සිදුවිම සහ තවත් සුළු සිද්ධි කිහිපයක් හැරුනාම විශ්ව විද්‍යාල පද්ධතිය තුල මෙවැනි ජාතිවාදී ප්‍රහාරයක් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

යාපනය විශ්ව විද්‍යාලය තුල සිංහල ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාත්මක වර්ධනයක් දැකිය හැකිවීම මේ ප්‍රශ්නයට හේතු වෙලා තියෙනවා.යුද්ධය පැවති කාලයේ යාපනය හා මඩකලපුව විශ්ව විද්‍යාල කෘතිම ලෙස දෙමළ සිසුන්ට පමණක් සීමාවුනා. එල්.ටී.ටී.ඊ.යෙන් එල්ල වුනු මරබිය නිසා සිංහල සිසුන් ඒ විශ්ව විද්‍යාල වලට ඉල්ලුම් නොකිරීම ඊට හේතු වුනා.

නමුත් අද රටේ යුද්ධයක් නෑ. දැන් සාමාන්‍ය තත්වයක් ඇතිවී තිබෙන නිසා සිංහල ශිෂ්‍යයන් එම විශ්ව විද්‍යාල වලට අනිවාර්යෙන්ම ඇතුලත් වෙනවා. ඒක වළක්වන්න කාටවත් හැකියාව බැහැ. ලංකාවේ මේ වනවිට විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය අනුව ඉදිරියේදීත් යාපනය සහ මඩකලපුව විශ්ව විද්‍යාල වලට සිංහල සිසුන් ඇතුළත්වීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම දකුණේ විශ්ව විද්‍යාල වලට දෙමළ ශිෂ්‍යයන් ඇතුලත් වීමත් වෙනස් කරන්නත් බැහැ.

මෙලෙස වර්තමානය වනවිට යාපනයේ විශ්ව විද්‍යාලයට සිංහල සිසුන් ඇතුලත්වීමේ වර්ධනයක් සිදුවී ඇත්තේ දෙමළ සිසුන් වැඩි වශයෙන් සෙසු පළාත් වල විශ්ව විද්‍යාල වල පීඨයන්ට ඇතුලත්වීම නිසා යාපනය විශ්ව විද්‍යාලයේ ඉඩකඩ ඇතිවීම හේතුවෙනුයි. ඒ නිසා යාපනය විශ්ව විද්‍යාලය අත්‍යන්තයෙන්ම දෙමළ ශිෂ්‍යන්ගේ විශ්ව විද්‍යාලයක් කරගැනීමට ඔවුන්ට අවශ්‍යනම් ඔවුන් විසින් ප්‍රථමයෙන්ම කළයුතු වන්නේ දෙමළ ජාතියම එක්වී වෙනත් විශ්ව විද්‍යාලවලට දෙමළ සිසුන් ඇතුළත් වීම වැළැක්වීමයි.

මෙම සිදුවීමෙන් පසුව මා දුටුවා යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙක් විසින් එක් සමාජ ජාලාවක සඳහන් කර තිබුනා යුද්ධයෙන් පසුව යාපනය විශ්ව විද්‍යාලයට සිංහල සිසුන් ඇතුලත්වීම නිසා ඇතිවූ බහුවාර්ගික තත්වය මත එම විශ්ව විද්‍යාලයේ ගුණාත්මකභාවය වැඩිවුනා කියලා. මෙතන තියෙන ප්‍රධානම වැරැද්ද තමයි මේ අන්තවාදී වාර්ගික කණ්ඩායමට වෙනස් වෙන්න බැරි එකයි. ඒ අය දන්නේ පරණ ලෝකේ ජීවත් වෙන්න විතරයි. එයට ඉතාපැහැදිලිව වගකිව යුතු වන්නේ දෙමළ දේශපාලකයෝයි. ඔවුන් කළේ පරණ ලෝකයක තමන්ගේ ජනතාව අතරමං කරපු එක විතරයි. නවීනත්වයට ගැලපෙන විදියට තම ප්‍රජාව හැඩගැස්වීමට දෙමළ දේශපාලන නායකයෝ අසමත් වුනා. ප්‍රභාකරන් මියගියා කියලවත් ඔවුන්ගෙන් සමහරෙක් පිළිගන්නේ නැහැ. එහෙම අන්තවාදයක ඉඳගෙන කොහොමද සමාජය නවීකරණය කරන්නේ?

ලංකාවේ අනෙකුත් විශ්ව විද්‍යාලවල තියෙන සංහිදියාව යාපනය විශ්ව විද්‍යාලය තුල ඇතිකළ නොහැක්කේ ඇයි? යාපනයේ විශ්ව විද්‍යාලය සිටින්නේ අනෙකුත් විශ්ව විද්‍යාල වලට වඩා සියවසක් පිටුපසින්ද? කියලා අපිට අද ප්‍රශ්නකරන්න සිදුවෙලා තියෙනවා. ඒ නිසා මෙහිදී අපි අවධාරණය කරන්නේ මේ සිදුවීමට සම්න්ධ පිරිසට අනිවාර්යෙන්ම දඬුවම් දෙන්න කියලයි. කැළණියේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවන් කිහිපදෙනෙක් දින හැටක විතර කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතවෙලා ඉන්නේ පළමු වසරේ තවත් ශිෂ්‍යාවකට කලිසම් ඇඳන් එන්න එපා කිව්වා කියලයි. (නවකවදයට මමත් විරුද්ධයි.) මෙතන ඔළුපළලා, ගහලා මෙච්චර වරදක් වෙලා තියෙද්දී නීතිය ක්‍රියාත්මක නොවුනොත් හරි තව දෙපාරක් විතර සිංහල ශිෂ්‍යයන්ට පහරදුන්නොත් හරි සිංහල ශිෂ්‍යෙයෝත් නිකන් ඉන්න එකක් නෑ. ඔවුනුත් පෙරලා පහර දෙයි. එහෙම උනොත් විශ්ව විද්‍යාල පද්ධතිය තුළින් සංහිදියාව බිදීයාම ආරම්භ වෙයි. ඒ නිසා මේ පිළිබඳව කල්මරන්නේ නැතිව මේ වැරදි කරුවන්ට දඩුවම් දෙන්න. ඒ වගේම සිංහල ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.  

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

38 + = 40