Google+

පසුගිය ජනපතිවරණයේදී වෙනසක් සිදුකිරීමට දායකවූ සියලු ජනතාව වීදිබැස මේ අල්ලස් කොමිසමත් එෆ්.සී.අයි.ඩී යත් වැටලිය යුතුයි. – නිශාන්ත ශ්‍රී වර්ණසිංහ කියයි.

පසුගිය 12 වන දින ගරු ජනාධිපතිතුමන් විසින් සිදුකළ ප්‍රකාශයක් නිසා ඇතිවූ ආන්දෝලනාත්මක තත්වයත්, එම ප්‍රකාශය පදනම් කරගෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්තුමිය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීම හා දැනට සිදුවන දූෂණ විමර්ශන කටයුතු වල ප්‍රමාදය පිළිබඳව ජාතික හෙළ උරුමයේ මතය ප්‍රකාශ කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවක් අද (18) පස්වරුවේදී ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි. එම අවස්ථාවට එම පක්ෂය වෙනුවෙන් ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සහ උප සභාපතිනී නිරෝෂා අතුකෝරාළ මහත්මිය යන අය සහභාගීවූහ.

මෙහිදී අදහස් දැක්වූ නිශාන්ත වර්ණසිංහ මහතා විසින් ප්‍රකාශ කළේ ජනපතිතුමන් සිදුකර ඇතැයි පැවසෙන ප්‍රකාශයෙන් මේ රටේ අධිකරණයට, නීතියට හෝ ස්වාධීන කොමිෂන් සභාවක ක්‍රියාකාරිත්වයට කිසිඳු බලපෑමක් ඇතිවී නොමැති බවත් දැන් සිදුවිය යුත්තේ අල්ලස් හා දූෂණ කොමිසමේ අධ්‍යක්ෂකතුමිය ඉල්ලා අස්වීම නොව ඇය විසින් තම රාජකාරිය නිසි පරිදී ඉටු නොකිරීම පිළිබඳව ජනතාව ඉදිරියේ පාපොච්චාරණය කිරීම බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා –

ඇතැම් සිවිල් සංවිධාන නියෝජිතයින් ප්‍රකාශ කර තිබුණා ජනාධිපතිතුමා සිදුකළ මේ ප්‍රකාශයෙන් යුක්තිය සාක්ෂාත් කරගැනීමේ කාර්ය අධෛර්යමත් වෙනවා කියලා. නමුත් ඒ ප්‍රකාශයෙන් එවැන්නක් සිදුවන්නේ නැහැ. ජනාධිපතිතුමන් සිදුකළ ප්‍රකාශයෙන් පිළිබිඹුවන්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී එතුමාට ඡන්දය දුන් ජනතාවගේ සිත්සතන් තුළ ඇති අසහනය, කලකිරීම හා වික්ෂිප්තභාවයයි. ජනාධිපතිතුමාට කේන්තියාම ඉතා සාධාරණයි. ජනාධිපතිතුමා බලයට පත්වෙලා වසර එකහමාරක් ගෙවිලා තියෙනවා. එම කාල සීමාව තුළ අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ කොට්ඨාශය, අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වැනි ආයතන මගින් දුෂණ හා වංචා විමර්ෂණයේදී තම කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව අද වන විට සමාජය තුළ විශාල සැකයක් මතුවෙලා තියෙනවා. මා හිතන විදිහට ඒ සැකය හා අවිශ්වාසය තමයි ජනාධිපතිතුමාගේ මේ කේන්තිය තුළින් ඒ වගේම ප්‍රකාශය තුළින් පිළිබිඹු වුනේ.

2015 ජනවාරි 08 වෙනසට මුල් වු සිවිල් හා බහුජන සංවිධාන බලාපොරොත්තු වූ අධිකරණයේ ස්වාධීනත්වය අද අපට හිමිවෙලා තියෙනවා. අධිකරණයට අද කවුරුත් බලපෑම් කරන්නේ යන්නේ නැහැ. ජනාධිපතිතුමා පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. අධිකරණයට, මූල්‍ය අපරාධ කොට්ඨාශයට හෝ ස්වාධීන කොමිෂන් සභාවලට දුරකතන ඇමතුම් ලබාදී බලපෑම් කිරීමට හෝ දුෂණ විමර්ශන කටයුතු වල ප්‍රගතිය විමසීම එතුමන් විසින් කටයුතු කරන්නේ නැහැ කියලා. එහෙනම් දැන් මේ ආයතනව වලට තියෙන ප්‍රධාන වගකීම වන්නේ අප්‍රමාදව යුක්තිය පසිඳලන එකයි. නමුත් මේ වනවිට එම ක්‍රියාවලියේ සිදුවී ඇති ප්‍රමාදය නිසයි ජනතාව මෙවැනි අසහනයකට පත්වෙලා ඉන්නේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ලැබුණු ජනවරමේ අභිලාෂය, අභිමතාර්ථය කුමක්ද කියන එක සියලු දෙනා තේරුම් ගත යුතුයි. ඒ ජනවරම දුෂණයට එරෙහි ජනවරමක්. මීට පෙර පාලන කටයුතු කළ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දුෂිත බලවේගය තම ධන බලය, නිලබලය වැනි සියලු බලයන් යොදා ගනිමින් සිදුකළ මැතිවරණ මෙහෙයුමක සිදු කරද්දී එවැනි කිසිදු බලයක් නොමැතිව එම දුෂිත පාලන ක්‍රමය වෙනස් කළ ජනතාවගේ මූලික අරමුණ වුනේ දුෂිකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමයි.

මේ දූෂණ විමර්ශන පරීක්ෂණයන් සාමාන්‍ය ඉඩම් නඩු අහනවා වගේ කල්මරමින් අහන්න දෙන්න බැහැ. මේ විමර්ශන කටයුතු ප්‍රමාද වන්නේ ඇයි? අද අපි ඉදිරියේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය එයයි. අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරිය වරක් කිව්වා තමන්ගේ රාජකාරිය ඉටු කිරීමට ප්‍රමාණවත් සම්පත් නැහැ කියලා. ඒ අනුව සියලු කොමිෂන් සභාවලට අවශ්‍ය සියලුම මානව හා භෞතික සම්පත් ලබාදීමට පාර්ලිමේන්තුව කටයුතු කළා. කතානායකතුමා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව යුහුසුළුව ඒ සඳහා මැදිහත් වුනා. මෙවැනි පරිසරයක් උඩ සිදුවිය යුත්තේ මොවුන් ඉල්ලාඅස්වීම නොවේ. දැන් අවශ්‍යවන්නේ තමන්ගේ රාජකාරිය නිසිලෙස ඉටු නොකිරීම පිළිබඳ ජනතාව ඉදිරියේ පාපොච්චාරණය කිරීමයි. ඊයේ දිනයේ දී කතානායකතුමා සියලුම කොමිෂන් සභා ප්‍රධානීන් හා නියෝජිතයින් සමඟ සාකච්ඡා කළා. එම සාකච්ඡාවේ දී ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ස්වාධීන කොමිෂන් සභාවලට යම් බලපෑමක් සිදුවූවාදැයි ඔවුන්ගෙන් විමසා සිටියා. එහිදී ඔවුන් දැනුම් දී සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් තමන්ට හෝ තම කටයුතු වලට කිසිදු බලපෑමක් සිදුනොවූ බවයි.

ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් පස්සේ මේ ආණ්ඩුව කඩා වැටෙනවායැයි කියලා දැන් සමහරු හීන දකිනවා. ඒ අයගේ සුන්දර සිහින ඔවුන්ට දකින්න පුළුවන්. හැබැයි මහපොළොවේ යථාර්තය ඒක නෙවෙයි කියලා ඔවුන්ට මතක් කළ යුතුයි. මේ ආණ්ඩුව තව දුරටත් ශක්තිමත්ව ඉදිරියට යනවා. මේක තමයි සජීවි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. අද ජනාධිපතිතුමා මේ ප්‍රශ්නය කැබිනට් මණ්ඩලයේත් වෙනත් සභාවලත් සෘජුව සාකච්ඡා කරනවා. ඒ වගේම අවශ්‍ය අවස්ථා වලදී තමන්ගේ අදහස විවෘත්තව ප්‍රකාශ කර සිටිනවා. ඒ අතරතුර සිවිල් සංවිධාන වලට බහුජන සංවිධානවලට වගේම මේ යහපාලන රජය බලය ගෙන ඒමට සහය දුන් සියලුදෙනාටම ජනපතිගේ ප්‍රකාශය පිළිබඳව තම නිදහස් අදහස් ප්‍රකාශ කරන්න ඉඩ ලැබිලා තියෙනවා. සමහරු ජනාධිපතිතුමාව අගය කරන අතරේ තවත් සමහරු එතුමාව දැඩිව විවේචනය කරනවා. ඒත් එහෙම විවේචනය කරන අය පස්සේ සුදුවෑන් පන්නන්නේ නැහැ. කවුරුවත් දුරකතන ඇමතුම් දීලා තර්ජනය කරලාත් නැහැ. ඒක තමයි, මේ සම්මුතිවාදී ආණ්ඩුව ඇතුලේ තියෙන කතිකාමය ප්‍රජාතන්ත්‍රවාදය. මිට කලින් පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ පැවති මහේශාක්‍ය දේශපාලනය, එහෙම නැත්නම් දෙවියෙක් වගේ උඩින් ඉඳන් අණදෙන ඒ අණට සියලුදෙනා යටත්වුනු ඒ දෙවියන්ට අවශ්‍ය දේ පමණක් ප්‍රකාශ කරන ක්‍රමය අද බිඳ වැටිලා. ඒ මහේශාක්‍ය ක්‍රමයට හුරුවුනු අය දැන් කියනවා රට අරාජිකයි, අස්ථාවරයි කියලා. ඒත් අපි ඉතා වගකීමෙන් පැවසිය යුතුයි අද වන විට ඕනෑම කෙනෙකුට මේ ප්‍රශ්න ගැන විවෘතව සාකච්ඡා කිරීමට අවශ්‍ය නිදහස් පරිසරයක් ගොඩනැගිලා තියෙනවා කියලා.

මේ වනවිටත් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විසින් තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමන් වෙත යොමු කරලා අවසන්. නමුත් ඇය විසින් එම ඉල්ලා අස්වීමට හේතු සඳහන් කරමින් අඩුමතරමින් එක් මාධ්‍ය සාකච්ඡාවක් හෝ පවත්වලා නැහැ. එතුමිය එය සිදුකළ යුතුම දෙයක් විදියට අපි දකිනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලැබී ඇති අයිතිය අනුව අපට දැනගැනීමට අත්‍යාවශ්‍යයි ඇයගේ මේ ඉල්ලා අස්වීමට හේතු මොනවාද කියලා. යහපාලන රජය අපකීර්තිමත්ම සිද්ධිය වන්නේ මහබැංකු වංචාවයි. හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හරහා සිදුකළ බැදුම්කර ගණුදෙනු දෙකකින් රජයට ඩොලර් බිලියන දහයකට (10) පමණ රජයට අහිමිවෙලා තියෙනවා. එම වංචාවට අදාලව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් ඉදිරි සතිය තුළ තම වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ වාර්තාව ඉදිරිපත්වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු අල්ලස් හෝ දූෂණ විමර්ෂන කමිටුවට පැවරෙනවා. ඒ නිසා මෙහිදී අපට සාධාරණ සැකයක් මතුවී තිබෙනෙවා. ඒ සැකය තමයි, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්තුමිය විසින් ජනාධීපතිතුමාගේ ප්‍රකාශයක් පෙන්වමින් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට උත්සහ කරන්නේ මහබැංකු වංචාවට අදාලව තම හිතවතුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම තමන්වෙතම පැවරෙන බව ඇයට කල්ඇතිව තේරුම් ගිය නිසාද? එසේ නැතිනම් තම හිතවතුන්ට දඩුවම් කිරීමට ඇති අකමැත්ත නිසාද? කියන එකයි.

ඒ වගේම පසුගිය කාලයේ සිදුවූ මහා පරිමාණ දූෂණ හා වංචා සම්බන්ධ පරීක්ෂණ අදවන විට නිසි අයුරින් සිදු නොවන බවක් අපට පෙනීගොස් තිබෙනවා.

මෙවැනි පරිසරයක අද වනවිට දූෂණ වංචා වල විමර්ශන කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් සැකයක් අවිශ්වාසයක් පොදුමහත් ජනතාව අතර ඇතිවෙලා තියෙනවා. පහුගිය දිනවල වැඩිපුර සාකච්ඡා කළ එවැනි එක් සිදුවීමක් තමයි ඇවන්ගාඩ් සමාගමට නීතිවිරෝධී ආයුධ 3000ක් නිදහස් කිරීමට අදාල පරීක්ෂණය. මේ ආයුධ නිදහස් කළ ලිපිලේඛන වලට අත්සන් කළ ආරක්ෂක අමාත්‍යාංශයේ දමයන්ති නැමති අතිරේක ලේකම්වරිය අද රටින් පැනගිහින්. මේ සමාගම සිදුකරලා තියෙන්නේ බරපතල අපරාධ වරදක්. නමුත් අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම විසින් ඇවන්ගාර්ඩ් සමාගමට නඩු පැවරුවේ දූෂණ චෝදනා යටතේයි.

ඒ වගේම මේ දිනවල වැඩිපුරම සාකච්ඡා කරන තවත් කාරණයක් වන්නේ රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙකුට අයත්යැයි කියන මල්වානේ ඉඩම වෙන්දේසි කරන්න පූගොඩ අධිකරණෙයෙන් ලබාදුන් තීන්දුවයි. ඒ මන්දිරයට මුල්ගල් තියලා තියෙන්නේ, කිරි උතුරවලා කිරිබත් කාලා විවෘත්ත කරලා තියෙන්නේ බැසිල් රාජපක්ෂගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ විසිනුයි. මේ නිවසේ සැලසුම සකස් කිරීමට උපදෙස් ලබාදී ඇත්තේත් ඇයයි. අනෙක නිවස ඉදිකළ කොන්ත්‍රාත් කරු පවසනවා තමන්ගේ මුදල් ගෙවීම සිදුකළෙත් පුෂ්පා රාජපක්ෂ කියලා. ඔහුට හිඟ මුදලක් ලබාගැනීමටත් තිබෙන බවත් පැවසෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ කිසිම ආයතනයක් මේ වනතෙක් පුෂ්පා රාජපක්ෂගෙන් එක වාරයක්වත් ප්‍රශ්න කරලා නෑ. ඒ නිසා අපි ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ මන්දිරය වෙන්දේසි කළ විගස රාජපක්ෂ පවුල විසින් තම කළුසල්ලි යොදවා එය තමන් සන්තක කරගන්නවා.

ඒ නිසා මේ සන්දර්ශනය, මේ බොරුව, මේ වංචාව තවදුරටත් සිදුවීමට ඉඩදිය නොහැකියි. පසුගිය ජනපතිවරණයේදී වෙනසක් සිදුකිරීමට දායකවූ සියලු ජනතාව වීදිබැස මේ අල්ලස් කොමිසමත් එෆ්.සී.අයි.ඩී යත් වැටලිය යුතුයි. වටලා මේ විමර්ශන නිවැරදිව සිදුවනවාදැයි ප්‍රශ්න කළ යුතුයි.

බස්නාහිර පළාත්සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරාළ මහත්මිය –

අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමේ අධ්‍යක්ෂකධූරයට කාන්තාවක් පත්වීම සම්බන්ධව කාන්තා ක්‍රියාකාරිනියක් ලෙස මා පෞද්ගලිකව සතුටට පත්වුනා. පුරුෂ පාර්ෂවයට නිරන්තරයෙන් අත දිගු කළත් කාන්තාවන්ට එලෙස චෝදනා ඉදිරිපත්වීම අඩුවීම නිසා දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය නිවැරදිව කටයුතු කරයි කියා අප සිතුවා. නමුත් ඇයගේ මේ තීරණය අපට අනුමත කළ නොහැකියි. ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රකාශයේ කාටවත් අතදිගු කලේ නැහැ. අපට දැනෙන විදියට ඇය උත්සහ කරන්නේ නිශාන්ත මන්ත්‍රීතුමා පැවසූ පරිදිම ජනපතිතුමාගේ ප්‍රකාශයට මුවාවී තමන්ගේ අවශ්‍යතාවක් සපුරාගැනීමයි.

ඒ වගේම පොලිසීය ඇතුළු දූෂණ විමර්ශන ආයතන වලින් අපි අහන්නේ සේයාගේ ඝාතකයාව දක්ෂ ලෙසත් කාර්යක්ෂමවත් අත්අඩංගුවට ගත්තා වගේ ඩේසි ආච්චිට මැණික් මල්ල ගෙනත්දීපු අය හොයන්න බැරි උනේ ඇයි? පොදු මහජනතාව 2015 ජනවාරි 08 වරම දුන්නේ දුෂකයෝ අල්ලන්නයි. අපි ඒ වෙනුවෙන් කැපවුනු පිරිසක්. තනතුරු වලට කවුද එන්නේ කවුද යන්නේ කවුද යන්නේ කියන එක අපිට අදාල නෑ. වගකිවයුතු සෑම කෙනෙක්ගෙන්ම අපි ඉල්ලන්නේ ජනපතිතුමාට ජනවරම දුන් ජනතාවගේ අභිලාෂයන් ඉටුකරන්න කියලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × = 4