Google+

තොපි දැනගියව් අපි ආපහු බලයට එනවා….රටේ ජනතාවට කරන තරවටුව එයයි…

ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වු ජනසටන පාදයාත්‍රාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් ඊයේ (01) පස්වරුවේදී ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි. එම අවස්ථාවට ජාතික හෙළ උරුමය වෙනුවෙන් එහි මධ්‍යම කාරක සභික පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් සහ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරාළ යන අය සහභාගීවූහ.

මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් විසින් ඊයේ (31) දිනයේදී කොළඹ ලිප්ටන් වටරවුමෙන් අවසන්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාගමන නිසා මගදිගට තිබුන සුරාසැල් සියල්ල හිස්වී ඇතිබව වාර්තාවු බැවින් පළමු දිනයේදී පන්සිල් සමාදන්ව ආරම්භවූ එම පාගමන මගදිගට පන්සිල් කඩමින් පැමිණි පාදයාත්‍රාවක් ලෙස හැඳින්විය හැකිබව අවධාරණය කර සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය හැඩිග්ලලේ විමලසාර හිමියන් –

ඒකාබද්ධ විපක්ෂයේ මෙම පාගමනේ එක් ප්‍රධාන සටන් පාඨ ලෙස රජය විසින් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමේ සුදානමක් පවතින බව හා ඒ නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය භාවය ඉවත් කිරීම හා බුදු දහමට වර්තමාන ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති ප්‍රමුඛස්ථානය අහිමි කරන බව ප්‍රකාශ කෙරුනා. මෙහිදී අප පක්ෂයක් ලෙස අවධාරණය කළ යුතුයි මේ කියන ආකාරයෙන් බුදු දහමට යම් අනතුරක් වනවා නම් හෝ රටේ ඒකියභාවයට යම් තර්ජනයක් ඇතිවෙනවා නම් ඊට විරුද්ධව පළමුව පාරට බහින්නේ ජාතික හෙළ උරුමයයි. ඉතිහාසය පුරාම ඒ වෙනුවෙන් අඛණ්ඩව පෙනීසිට ඇත්තේත් අප පමණයි.

අද හිටපු ජනාධිපතිතුමා බුදු දහමට හිමිවිය යුතු තැනගැන කථා කළාට අපට මතකයි එතුමා බලය ඉදිද්දී කටයුතු කරපු ආකාරය. හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා මහතා සිරගත කළ මොහොතේ එතුමාට සෙත්පතලා දළදා මාලිගාවේ අධිෂ්ඨාන පිංකමක් සංවිධානය කිරිම ඉඩදුන්නා කියලා මල්වතු පාර්ශවය කඩලා පහතරටට වෙනම මල්වතු පාර්ශයවයක් අරඹන බවට මහානායක හිමියන්ට තර්ජනය කලේ මහින්ද රාජපක්ෂ මහතායි. ඒ වගේම කිරින්දේ විහාරාධිපති හිමියන් අපවත් වූ විට තම දේශපාලන බලය භාවිතාකරලා තමන්ට ගැතිකම් කරන ඒවගේම එම තනතුරට නුසුදුසු හිමිනමක් විහාරාධිපති කරන්න එතුමන් උත්සහ කළා. එතනදී මහනාහිමියන් ඇතුළු සංඝ සභාව බලවත් විරෝධයක් ඉදිරිපත් කළ නිසා ඒ උත්සහයත් අසාර්ථක වුනා.

2004 වසරේදී ඒ වනවිට බලවත්ව පැවති මූලධර්මවාදී ක්‍රිස්තියානි සංවිධාන විසින් බලහත්කාරයෙන් බෞද්ධයන් අන්‍යාගම්වලට හරවාගැනිමට එරෙහිව අප විසින් බොදු සමුළු පවත්වමින් රටම දැනුවත් කරලා පාර්ලිමේන්තුවට ගෙන ආ සදාචාර විරෝධී ලෙස අන්‍යාගමිකකරණය තහනම් කරන පනත් කෙටුම්පත සම්මතවීම නතර කලේත් මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින්ම බව මෙහිදී අපි ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා. ඒ නිසා අපි හිටපු ජනපති මහින්ද රාජක්ෂ මැතිතුමාගෙනුත් එතුමාගේ කණ්ඩායමෙනුත් ඉල්ලා සිටිනවා ජනතාව මුලාකරමින් බොරු කිඹුල් කඳුලු හෙලන්න එපා කියලා.

අවසන් වශයෙන් අවස්ථාවාදී බලලෝභී මුසාවාදයන්ට රැවටෙන්න එපා. රටත් ජාතියත් සම්බුදු සසුනත් රැකගැනීම සඳහා අප ජීවිත පරිත්‍යාගයෙන් යුතුව කටයුතු කරනවා කියලා අප මහජනතාවට නැවත නැවතත් මතක්කර සිටිනවා.

ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මැතිතුමා –

මේ වනවිට අපට දැකගත හැකියි බොහෝ තැන්වලදී ඒකාබද්ධ විපක්ෂයේ පාදයාත්‍රාව සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය පැවැත්වෙනවා. ජනසටන පාගමන තුළ ජනතාව සටන්කරන බවක් අප දුටුවේ නැහැ. නාමල් රාජපක්ෂ ඇතුළු විපක්ෂ දේශපාලන කණ්ඩායමේ බොහෝ දෙනෙක් සින්දු කියමින්, බයිලා ගයමින් බඩපිනුම් ගහනවා බල්ටි ගනවා විතරයි අපිට දකින්න ලැබුනේ. ආණ්ඩුවක් පෙරලන්න යන පා ගමනක පෙනුමක් මේ පාගමනේ දක්නට ලැබුනේ නැහැ. මෙහිදී තව දෙයක් සිහිපත් කරයුතුයි. ඒ තමයි ලංකා ඉතිහාසයේ කවදාවත් පාගමන් වලින් හර්තාල් වලින් උද්ඝෝෂණ වලින් හා වැඩවර්ජන වලින් ආණ්ඩු පෙරලිලා නැහැ. නිදහස ලැබීමෙන් පසු පෙරලුනු හැම ආණ්ඩුවක්ම පෙරලුනේ මහජන ඡන්දයෙන් පමණයි. නමුත් පාගමන්, උද්ඝෝෂණ හා වැඩවර්ජනවලින් ආණ්ඩු පෙරලන්න උත්තේජන සපයන්න පුළුවන්. මේ ආණ්ඩුව පත්වී තවම වසර එකහාමාරක්වත් ගෙවීගොස් නැහැ. සිදුහත් බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්න කලින් පස්මහ බැලුම් බැලුවා. ඒනිසා මේවගේ හර්තාල් කරන්නත් උද්ඝෝෂණ කරන්නත් දේශපාලන වශයෙන් පස්මහ බැලුම් බලන්න ඕන.

අනෙක් කාරණාව තමයි අපි දැක්කා මේ පාගමනේ ප්‍රධාන සටන් පාඨයක් ලෙස ව්‍යවස්ථා මර උගුලක් ගැන කථා කෙරුනා. ඒත් ඒ ව්‍යවස්ථාව සකසන ප්‍රධාන කමිටුවේත් ඊට අනුබද්ධ අනු කමිටුවලත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුත් ඉන්නවා. ප්‍රධාන කමිටුවේ දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග යන අය සාමාජිකත්වය දරණවා. ඒ වගේම මූලික අයිතිවාසිකම් කමිටුවේ වාසුදේව නානායක්කාර සහ පවිත්‍රා වන්නිආරච්චි යන අයත් සෙසු කමිටු වල නාමල් රාජපක්ෂ, උදය ගම්මන්පිල වැනි මේ පාගමනේ සංවිධායකයෝත් කටයුතු කරනවා. මුල්‍ය අනුකමිටුවේ සභාපති විදියට කටයුතු කරන්නේ රටේ මහා ආර්ථික අර්බුධ සහ ණය උගුල ගැන කථාකරන බන්දුල ගුණවර්ධනයි මැතිතුමායි. මේවායෙන් පැහැදිලි වෙන්නේ විමල් වීරවංශ ව්‍යවස්ථා මරඋගුලක් ගැන කියමින් ගිරිය පුප්පන් කෑ ගහන එකේ අරමුණ ජනතාව මුලාවට පත්කිරීම බවයි. ඒ වගේම මේ පාගමන ගිය මන්ත්‍රීවරු 36 දෙනාගෙන් 35කටම එරෙහිව අධිකරණයේ නඩුකටයුතු විභාගවෙනවා. ඒ නිසා ඒවායෙහි පරික්ෂණ කටයුතු කරන පොලිසිය, එෆ්.සී.අයි.ඩීය ඇතුළු ආයතනවලටත් අධිකරණයේ විනිසුරන්ටත් බලපෑම් කිරීම මේ පාගමනේ ප්‍රධානම අරමුණක් බව හොඳටම පැහැදිලි වෙනවා.

මේ කියන්නේ වෙන මොකවත් නෙවෙයි. තොපි දැනගියව් අපි ආපහු බලයට එනවා. උඹලා පරිස්සමෙන් හිටපල්ලා කියන තරවටුවයි මේ කරන්නේ. ඒ විතරක් නෙවෙයි. මේ පාගමන පුරාවටම සටන් පාඨ ලෙස කිව්වේ අපිට ඕන ආණ්ඩුවක් – රාජපක්ෂ ආණ්ඩුවක් කියලයි. නාමල්පුතා බෙරිහන් දුන්නේ තාත්තට බලය දෙන්න කියලයි. දේශපාලන නාඩි වැටෙන ඕන කෙනෙක් දන්නවා විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂට නැවත ජනපතිවරණයකට තරඟ කරන්න බැහැ කියලා. එහෙනම් මේ බලය ඉල්ලන්නේ කාටද? නාමල්ටද? බැසිල්ටද? ගෝඨාභයටද?කියලා අපි දැනගන්න කැමතියි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව දෙවරකට වඩා එක් අයෙකුට ජනපති වෙන්නත් බැහැ. ද්විත්ව පුරවැසිකම ඇති කෙනෙකුට ජනපතිධූරයට තරඟ කරන්නත් බැහැ. ඒ වගේම 2020 වෙනකල් ආණ්ඩු පෙරලන ජාතික මැතිවරණ පැවැත්වෙන්නේත් නැහැ. ඕවාට තමයි දේශපාලන ළඳරු වලිප්පු කියලා කියන්නේ. ඒවට බෙහෙත් තියෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ වාසු, ඩියූ, තිස්ස වැනි නායකයින්ගෙන් අපි දැනගන්න කැමතියි ඔවුන් රටේ ඒකිය භාවය පිළිගන්නවාද? බුදු දහමට ප්‍රමුඛත්වය දෙනවට කැමතිද? පළාත් සභා වලට 13ට එහා බලයදිම ගැන තවමත් විශ්වාස කරනවාද? කියලා. ඒ එක්කම වාසුලාගේ තිස්සලාගේ අදහස පිළිගන්න සූදානම්ද කියලා ගම්මන්පිලගෙන්, දිනේෂ්ගෙන්, විමල්ගෙනුත් අහන්න වෙනවා. අපි දන්නවා ඔවුන් අතර මේ සම්බන්ධයෙන් පැහැදිලි අසමාන කමක් තිබෙනබව. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය යනු කිසිඳු ඒකාබද්ධතාවක් නැති ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදී අසුද්ධ හවුලක් බව මෙහිදී පැහැදිලිවම කිව හැකියි.

ඒ වගේම මේ පාගමනේ තවත් යටි අරමුණක් තියෙනවා. ඒතමයි රට දේශපාලනිකව අස්ථාවර කිරීම. ව්‍යාකූලභාවයක් ඇතිකිරීමයි. එමෙන්ම ඒතුළින් රටේ ඉදිරිගමන අඩාල කරලා ආර්ථික වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම ඔවුන්ගේ සැලසුමයි. දැන් සිද්දවෙලා තියෙන්නේ හොරු අල්ලන්න ආපු ආණ්ඩුව ගෙදර යවන්න හොරුරැලම පාරට බැහැපු එකයි.රටේ ආණ්ඩුවක් පවතින බව රටට හා ජනතාවට දැනෙන්න ඕන. එහෙම නැති වුනොත් හොරුන්ගේ පරාජිත දූෂිත දේශපාලකයින්ගේ ප්‍රාණ ඇපකරුවන් වන්න රටටම සිදුවේවි.

පළාත්සභා මන්ත්‍රී නිරෝෂා අතුකෝරාළ මහත්මිය –

ඒකාබද්ධ විපක්ෂය අදවන විට මළමිනියක් වෙලා. ඒක දන්න එහි නායකයෝ කරන්නේ මේ වගේ දේවල් සූදානම් කරලා වරින් වර ඒ මලමිනිය එම්බාම් කරන එකයි. හැබැයි මේපාර කරපු එම්බාම් එක වැඩිකාලයක් පවතින්නේ නැතිබව අද රටටම ඔප්පුවෙලා තියෙනවා. මේ මළමිනය ස්භාවිකව මියගිය පුද්ගලයකුගේ එකක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා තම ධූරකාලය අවසන් වෙන්න වසර දෙකක් තියෙද්දී ජනපතිවරණය කැඳවලා වහබිලා මැරුනා වගේ වැඩක් තමයි කරගත්තේ. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ වහබිලා සියදිවි හානිකරගත් මිනිහෙක්ගේ මලසිරුරක්. ඒ නිසා එයට පණ දෙන්න උත්සහ කරන එක තේරුමක් නැති වැඩක් බව ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම අපි රූපවාහිනී ප්‍රවෘත්ති වලින් දැක්කා මේ පාගමනට දරුවන් යොදාගෙන තියෙනවා. දරුවෝත් ඉන්න පාගමනේම කුණුහරුප කියකිය අසෝභනව හැසිරෙනවාත් අපි දැක්කා. ඒ නිසා වගකිම් සහගත මවක් ලෙස ඒකාබද්ධ විපක්ෂයෙනුත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාගෙනුත් මා ඉල්ලා සිටිනවා කරුණාකර හයක් හතරක් නොතේරෙන අහිංසක දරුවන් තමන්ගේ බලලෝභී දේශපාලන ව්‍යාපෘති සඳහා යොදාගන්න එපා කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 × 1 =