Google+

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අකමැති වෙන්නේ ජනතා ද්‍රෝහීන්

Patali-Champika-Ranawaka-Secretary-of-Jathika-Hela-Urumaya

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන් සිදුකළ යුතු බවත්, විවධ හේතූන් දක්වමින් එයට විරුද්ධවන අය දේශද්‍රෝහීන් වශයෙන් ඉතිහාසයට එකතුවන බවත් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා ඊයේ (ජුනි 11) දා ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ දී 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාද සහභාගි විය.

“මැතිවරණ ක‍්‍රමය සංශෝධනය වීමේදී අපි කරුණු ගණනාවක් සළකා බලන්න  ඕනේ. පළවෙනි එක තමයි ජයග‍්‍රාහී පක්ෂය කවරක් වුණත්. ඒ ජයග‍්‍රාහී පක්ෂය අසාමාන්‍ය බලයක් ලැබිය යුතුත් නැහැ. ඒ වගේම ඒ ජයග‍්‍රාහී පක්ෂයට පාලනයක් ගෙනියන්න පුළුවන් බහුතර බලයක් ලැබෙන්නත්  ඕනේ. නිකන් එල්ලි එල්ලි සුළුතර ආණ්ඩු ගෙනියන්න බැහැ රටක් ස්ථාවර කරගන්න අපට අවශ්‍යයි ඒක. දෙවනි කාරණය ශක්තිමත් විපක්ෂයක් ඇතිවෙන්නත් ඔනේ. තුන්වෙනි කාරණය විවිධ ජන කණ්ඩායම් විවිධ මතවාද නියෝජනය කරන පක්ෂවලට නිසි නියෝජනයක් පාර්ලිමේන්තුවේ ලැබෙන්න ඔනේ. ඔය කියන කරුණු තුන අනිවාර්යයෙන්ම ඒ මැතිවරණ ක‍්‍රමය ඇතුලේ ඉටුවෙන්න  ඕනේ. දැන් අපි ගත්තොත් කළින් තිබිච්ච කොට්ඨාශ ක‍්‍රමය, කොට්ටාශ ක‍්‍ර‍්‍රමයේදී හැම අවස්ථාවේදීම වගේ 1960 මාර්තු ඇරුණාම හැම අවස්ථාවේදීම වගේ දිනපු පක්ෂයට බහුතර බලය ලැබුණා. ඒ වගේම අසාමාන්‍ය බලයකුත් ලැබුණා. දැන් 1977 එවැනි අසාමාන්‍ය බලයක් ලැබුණා. 5/6 බලයක් ලැබුණා. ඇත්ත වශයෙන්ම  රටේ ඡන්දවලින් 50%ක් ගත්ත එක්සත් ජාතික පක්ෂයට රටේ ආසනවලින් 88‍%ක් ලැබුණා. ඒක සෑහෙන්න අසාමාන්‍ය බලයක්. එවැනි බලයක් ලැබිය යුතු නැහැ. හැබැයි පැහැදිලි බහුතර බලය ලැබෙන්න  ඕනේ නැත්නම් රටක් පාලනය කරන්න බැහැ. විවිධ කල්ලි කණ්ඩායම්වලට අවශ්‍ය විදිහට බහුතර මතය පාලනය වෙවී තමයි වෙන්නේ.”

“ඊලගට ශක්තිමත් විපක්ෂයක් ඇතිවෙන්න  ඕනේ. දැන් එක්සත් ජාතික පක්ෂය 1956දී, 1970දී අතුගෑවිලා ගියා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, වාමාංශික පක්ෂ 1977දී අතුගෑවිලා ගියා. ඇත්තටම 1977 අනුපාත චන්ද ක‍්‍රමයක් තිබුණා නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 50කට ආසන්න ප‍්‍රමාණයකුත්, වාමාංශික පක්ෂවලට 15ක් පමණත් ලැබිය යුතුව තිබුණා. නමුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණේ ආසන 8යි. වාමාංශික පක්ෂවලට එක ආසනයක්වත් ලැබුණේ නැහැ. ඒ නිසා අතුගෑවිලා යන්න බැහැ. විපක්ෂය යම් ශක්තිමත් තත්ත්වයක තිබිය යුතුයි. කුඩා කණ්ඩායම්, දේශපාලන මත දරණ අය, විවිධ ආගමික, ජාතික කණ්ඩායම්වලට නිසි නියෝජනයක් ලැබිය යුතුයි. මොකද සමහර වෙලාවට මේ ජාතික කණ්ඩායම් විවිධ දේශපාලන පක්ෂවල ප‍්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජනය වනවා. ඒ නිසා ඔවුන්ට නිසි නියෝජයනයක් ලැබිය යුතුයි. ඔවුන්ගේ නියෝජනය කප්පාදු කිරීමේ අදහසේ අපිත් නැහැ. ජාතික හෙළ උරුමය බිහි වුණෙත් එහෙමයි.”

“ඉතින් මේ අද අප ඉදිරියේ යෝජනා දෙකක් තියෙනවා. එකක් ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු මන්ත‍්‍රීවරු 255කින් යුතු පාර්ලිමේන්තුව. ඒකේ මන්ත‍්‍රීවරු 196 දෙනෙක් අනුපාත චන්ද ක‍්‍රමයටත් මන්ත‍්‍රී ක‍්‍රමයකට, ඒකෙන් 165ක් කොට්ඨාශවලට පත් වෙනවා. ඒ වගේම තව මන්ත‍්‍රීවරු 59 දෙනෙක් ජාතික ලයිස්තුවේ ඉන්නවා. ඊලගට අග‍්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරලා තිබෙන සූත‍්‍රය. ඒකත් සම්පූර්ණයෙන්ම අනුපාත ක‍්‍රමයක්. ඒකත් කියන්න  ඕනේ. ඒක සම්පූර්ණ අනුපාත චන්ද ක‍්‍රමයක්. මේ දෙදෙනාගේම තිබෙන්නේ අනුපාත ක‍්‍රම හැබැයි ඒකේ මන්ත‍්‍රීවරු 125ක් කොට්ඨාශයෙන් පත් වෙනවා. ඒ වගේම 75 දෙනෙක් දිස්ත‍්‍රික් අනුපාතයට පත් වෙනවා. 25 දෙනෙක් ජාතික ලයිස්තුවට පත් වෙනවා.  ඕක තමයි තියෙන්නේ. මේ දෙකම ගත්තහම මේ දෙකම මූලධර්මයක් හැයිට එකයි. මේ යෝජනා දෙකම අනුපාත ක‍්‍රමයට ඒ ඒ පක්ෂවලට ඡන්දයේදී ලැබෙන ප‍්‍රතිශතය මත තමයි පාර්ලිමේන්තුවේ ආසන ලබා දෙන්නේ. ඒ අනුව දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිම දේශපාලන පක්ෂයකට අසාධාරණයක් වෙන්න විදිහක් නැහැ. මේ ක‍්‍රම දෙකෙන්ම. මොකද දෙකම පදනම් වෙන්නේ ඒ ඒ පක්ෂවලට ලැබිච්ච අනුපාත ඡන්ද ක‍්‍රමය මත.”

“විශේෂයෙන්ම ඇතැම් සුළු ජාතික කණ්ඩායම් කියනවා ඒගොල්ලන්ගේ නියෝජනය අඩු කරලා කපලා කියලා. එහෙම එකක් වෙන්න විදිහක් නැහැ. මොකද මේ දෙකම අනුපාත ක‍්‍රමය මත පදනම් වෙලා තිබෙන නිසා. එතකොට මොකක්ද එහෙනම් තියෙන ප‍්‍රශ්ණය. අන්න ඒක තමයි වැදගත් දේ. ප‍්‍රශ්ණය ඉතාම ප‍්‍රායෝගික කාරණයක්. ඒක තමයි රටේ මැතිවරණ කොට්ඨාශ ප‍්‍රමාණය ආසන 125ට කඩන්න පුළුවන් ද? ඒක තමයි පළවෙනි කාරණය. දෙක විවිධ ජන කණ්ඩායම් සහ මතවාද නියෝජනය කරන හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග‍්‍රසය, වතු කම්කරු කොංග‍්‍රසය වගේ ඒවායේ අයට නිසි නියෝජනය, නියෝජනය සහතික කරන්න පුළුවන්. නිසි නියෝජනය සහතික කරන්න පුළුවන් ද? දැන් මේ ආසන 125ක් නම් රටේ තිබෙන්නේ කොට්ඨාශ, එක ආසනයකට හිමි ඡන්ද ප‍්‍රමාණය එක්ලක්ෂ විසි හතරදාහක් වෙනවා. එතකොට කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉන්නවා සාමාන්‍යයෙන් පහළොස් ලක්ෂයක ඡන්ද දායකයෝ ප‍්‍රමාණයක්. කොළඹ දිස්ත‍්‍රික්කයට හිමි ආසන ප‍්‍රමාණය ඒ අනුව ආසන්නයෙන් දොළහක් පමණ වෙනවා. දිස්ත‍්‍රික්කයේ දැනට කොට්ඨාශ පහළොවක් තිබෙනවා. ඒ කියන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ආසන තුනක් අඩුවෙනවා. ඉතින් ඒක කරන්න කොළඹ දිස්ත‍්‍රික්කය ලෑස්තියි. ඊලගට යාපනය, යාපනය දිස්ත‍්‍රික්කයේ තියෙන්නේ ඡන්ද පන් ලක්ෂ විසි නවදාහයි. ඒකේ තියෙනවා කොට්ඨාශ 11ක්. මේ ක‍්‍රමයට ගියොත් මේ ආසන 125ට ගියොත් යාපනයට අයිති වෙන්නේ යාපන දිස්ත‍්‍රික්කයට ආසන 4යි. මන්ත‍්‍රීධූර 4යි. ඉතින් දැන් මේකට එකගද? ඉතින් මේක තමයි මැතිවරණ කොමසාරිස්තුමත් අහන ප‍්‍රශ්ණය. ගාල්ලේ පවා මේ හැම තැනකම මන්ත‍්‍රී ආසන ප‍්‍රමාණය අඩු වෙනවා. මේකට ඒ ජනතාව සූදානම් ද? ඇත්තටම ඒ ජනතාව එහෙම සූදානමක් නැහැ. එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂය කියනවා උතුරේ ජන නියෝජනය සහතික වෙන්න  ඕනේ කියලා, අනික් පැත්තෙන් ඒගොල්ලන්ගේ යෝජනාවේ හැටියට ඒක මන්ත‍්‍රී කොට්ඨාශ 11 ඉදන් 4ට අඩු වෙනවා. මේක නොදැන කරන සෙල්ලමක් නොවෙයි. දැන කරන සෙල්ලමක්. මොකද ඉතාම පැහැදිලිව මේක අනුමත වෙන්නේ නැහැ මේ විසංවාදය ආවාම කියලා හොදට දැනගෙන කියන කතාවක්.”

“එතකොට ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තිබෙන 255 යෝජනාව මොකක් ද? ඒකේ හැටියට පවතින කොට්ඨාශවල දැනට තියෙන ප‍්‍රමාණය 160 වෙනස් වෙන්නේ නැහැ. ඒක සමහර විට නැවත නිර්ණය වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට බටහිර කොළඹ ආසනයේ ඡන්ද 48,000ක් පමණ තිබෙනවා. හෝමාගම ආසනයේ ඡන්ද 174,000ක් තිබෙනවා. එතකොට ඒවා නැවත වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලක්ෂ 150 ආසන 160න් බෙදුවොත් ආසන්නයෙන් ඡන්ද 76,000ක් පමණ වෙනවා ආසනයකට. එතකොට ඒ විදිහට ඒක වෙනස් කරගන්න පුළුවන්. එතකොට ආසනවල පොඩි පොඩි වෙනස්කම් වෙනවා මිසක් දිස්ත‍්‍රික්කය ඇතුළේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ලොකු ගැටළුවක් පැණනගින්නේ නැහැ. ඒ වගේම මේ ජාතික ලැයිස්තුව  ලොකු එකක් නිසා 59 නිසා යම් යම් දිස්ත‍්‍රික්කවල වැඩියෙන් ආසන ලබාගන්න අයට සහ යම් යම් දිස්ත‍්‍රික්කවල අඩුවෙන් ආසන ලබාගන්නා අයට ඒගොල්ලන්ගේ නියෝජනය සහතික වීමට යම් විශ්වාසනීය විකල්පයක් තිබෙනවා. මම උදාහරණයක් කියන්නම්. උදාහරණයක් හැටියට හිතන්න යාපනය දිස්ත‍්‍රික්කය යාපනය දිස්ත‍්‍රික්කයේ කොට්ඨාශ 11ක් තිබෙනවා. එතකොට හැබැයි අනිවාර්යයෙන්ම වැඩිපුර මන්ත‍්‍රීධූර හතරක් එතන තිබෙනවා. මොකද යාපනයට නියමිත මන්ත‍්‍රීධූර හතයි නිසා. අපි හිතුවොත් දෙමළ සන්ධානය මේ කොට්ඨාශ 11ම දිනුවයි කියලා එවිට දෙමළ සන්ධානයට ජාතික ලැයිස්තුවෙන් ලැබිය යුතු මන්ත‍්‍රීධූර හතරක් අඩු වෙනවා. ඒ හතර අඩු කරන්න නම් ජාතික ලයිස්තුවේ මන්ත‍්‍රීධූර ප‍්‍රමාණයක් තිබිය යුතුයි. දැන් අගමැතිතුමා යෝජනා කරලා තිබෙන ජාතික ලැයිස්තුවෙන් එවැනි අඩුකිරීමක් කරන්න බැහැ. මොකද ඒකේ විසි පහයි තියෙන්නේ.”

“ඊලගට අපි හිතමු හම්බන්තොට දිස්ත‍්‍රික්කය. ආසන හතරයි තියෙන්නේ. දැන් ඒ හතරම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිනනවා කියලා හිතමු. එක්සත් ජාතික පක්ෂයට දෙන්න දෙයක් නැහැ. එතකොට එක්සත් ජාතික පක්ෂයට ඒකට සහනය දෙන්න වෙන්නේ ජාතික ලැයිස්තුවෙන්. ඒකයි මේ විශාල ජාතික ලැයිස්තුවක්  ඕනේ වෙලා තියෙන්නේ. මේක කාලයක් කතා කරලා හොදට තේරුම්ගත්ත දෙයක්. නැතුව මේ 255 කියන ඉලක්කම ඇවිල්ලා තියෙන්නේ මේ අපි කිසිම දේශපාලන ප‍්‍රශ්ණයක් නෙවෙයි මේක මේ මැතිවරණ කොමසාරිස්තුමා තමයි යෝජනා කළේ. මොකද එතුමා පෙන්නලා දුන්නා එතුමා සහ විද්වත් මඩුල්ලක් හිටියා මේකත් එක්ක. ඒ විද්වත් මඩුල්ල තෝරා දුන්නා පසුගිය මැතිවරණ ප‍්‍රතිඵලවලට මේ මාදිලිය දැම්මාම මේ මාදිලි දෙකම දැම්මා, අගමැතිතුමාගේ මාදිලියත් දැම්මා, මේ මාදිලියත් දැම්මා මේ මාදිලි දෙකම දැම්මාම පෙනිච්ච දේ තමයි අගමැතිතුමාගේ මාදිලිය කිසිසේත්ම ප‍්‍රායෝගික මාදිලියක් නෙවෙයි. ඒ මගින් එකම ක‍්‍රියාවලියක්වත් අර මම කලින් සදහන් කළ එකම ක‍්‍රියාවලියක්වත් සහතික කරන්න බැහැ. බහුතර ඡන්ද ගන්න පිරිසට බහුතර බලය ලැබෙන බව සහතික වෙන්න බැහැ. ශක්තිමත් විපක්ෂයක් ඇති වෙන්න ඒක සහතික වෙන්න බැහැ. ඒ වගේම කුඩා කණ්ඩායම්වල නියෝජනය සහතික වෙන්න බැහැ. මේ 255 යෝජනාවෙන් පමණයි ඒක වෙන්නේ. හැබැයි මූලධර්මයක් හැටියට මේ දෙගොල්ලම එකම මූලධර්මයේ තමයි එළඹිලා තියෙන්නේ.”

“මේකේදී ගේන ප‍්‍රධාන තර්කය තමයි මේ මන්ත‍්‍රීවරු වැඩි වුනාම ජනතාවට බරක් කියලා. එහෙනම් ඉතින් ඔය ඔක්කෝම වහලා දාන්න තියෙන්නේ. රාජ්‍යය වහන්න තියෙන්නේ. බරක් නම්. තමන්ම පිළිගන්නවා නම් බරක් කියලා ඉතින් රාජ්‍යය වහන්න තියෙන්නේ. මේවා නිකන් පුහු තර්ක. අපි අපේ පළාත් පාලන මන්ත‍්‍රීධූර ප‍්‍රමාණය 4000 සිට 6000ට වැඩි කළා. අළුතෙන් පළාත් සභා කියලා එකක් ගෙනාවා. ඊට අමතරව මේ 225 මන්ත‍්‍රීවරු තීරණය කරන වෙලාවේ රටේ හිටියේ ලක්ෂ 75යි ඡන්ද දායකයෝ. අද ඉන්නවා 150 ලක්ෂයක්. හරියටම දෙගුණයක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක වැඩිකරනවාය කියන එකෙන් නියෝජනත්වය වැඩි වීමයි. අනිත් එක මේ වැඩි වීම වෙලා තියෙන්නේ මේ ආසන 30ක වැඩිවීම කරලා තියෙන්නේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි මේ පක්ෂවල නියෝජිකත්වය තහවුරු කිරීම සදහා. උදාහරණයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණට 225 ක‍්‍රමය යටතේ ආසන ලැබෙන්නේ නැහැ. හැබැයි 255 ක‍්‍රමය යටතේ ඒගොල්ලන්ට ආසන ලැබෙනවා. ඒගොල්ලන්ට නිසි ආසන ප‍්‍රමාණය ලැබෙනවා. ඉතින් ඒ නිසා මේක ගැන මේ විධිමත් අධ්‍යනයකින් තොරව අදහස් දැක්වීම යුතු නැහැ මිනිස්සුන්ගේ හදවත් කුලප්පු කරවන්න. මේක කෙරෙනවා නම්, ප‍්‍රායෝගිකව කළ යුතුයි. මේක නොකෙරෙනවා නම් ඔය නොයෙක් තර්ක ඉදරිපත් කරගෙන මේක නොකෙරෙන තැනට කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා අපි බොහොම පැහැදිලිව ඉල්ලා සිටිනවා 19 සංශෝධනය ගේන වෙලාවෙත් මේ පොරොන්දුව දුන්නා. විසිවෙනි සංශෝධනය ගේනවා, කොට්ඨාශයට මන්ත‍්‍රීවරයෙක් දෙනවා ඒ වගේම මනාප ක‍්‍රමය අහෝසි කරනවා කියලා. ඒ අනුව අපි මේ සංශෝධනය සම්මත කළ යුතුයි.”

“මේ සංශෝධනයට විවිධ හේතු දක්වමින් විරෝධය දක්වන සියළුම දෙනා ජනතා ද්‍රෝහීන්. ඒ වගේම විශේෂයෙන්ම පසුගිය ජනවාරි 8වනදා දුන් ජනවරමට එරෙහිව යන පිරිසක් හැටියටයි අපි දකින්නේ. ඒක විපක්ෂයට කරන්න අයිතිය තියෙනවා. හැබැයි ආණ්ඩු පක්ෂයේ ඉන්න අයට ඒක කරන්න අයිතිය නැහැ. ඒක බොහොම පැහැදිලිව අපි කියන්න  ඕනේ. ආණ්ඩු පක්ෂයේ ඉන්න අයට ඒක කරන්න කිසිම අයිතියක් නැහැ. විපක්ෂයේ අයට විරුද්ධ වෙන්න පුළුවන්. මෙතනදී විපක්ෂයේ අය යම් ප‍්‍රමාණයකට නම්‍යශීලී වෙලා මේකට එකගවෙලා තියෙනවා. ඒගොල්ලෝ මේක හදන්නත් සෑහෙන්න මැදිහත් වුණා. මේක කඩාකප්පල් කරන්න එපා කියන එක බොහොම වගකීමෙන් ප‍්‍රකාශ කරනවා. අනුපාත ඡන්ද ක‍්‍රමය යටතේ මනාපය අහෝසි කරන්න තිබිච්ච ස්වර්ණමය අවස්ථාවට බාදා කරපු පිරිසක් හැටියට ඉතිහාසයට එක්වෙන්න එපා කියලා එක්සත් ජාතික පක්ෂයේ නායකයාට අපි බොහොම පැහැදිලිව කියනවා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

÷ 8 = 1